Responsive image
English site
English site

දිනය: 31-01-2019 | වේලාව: ප.ව 03:23 | 38

අත් අකුරින් ජීවිත 6000ක් බේරූ මිනිසෙකුගේ කතාව

සුගිහාරා ඉගෙන ගන්නට දක්ෂයෙකි. ඒ නිසා ඔහුගේ තාත්තාට වුවමනා වූයේ ඔහුව වෛද්‍යවරයෙක් කරන්නටය. එහෙත් සුගිහාරා හිතුවක්කාරයෙකි. ඔහුගේ වැඩි කැමැත්ත තිබුණේ සාහිත්‍යයටය. භාෂාවන් ඉගෙන ගෙන රට රටවල සංචාරය කරන්නටය.

එහෙත් තාත්තාගේ කැමැත්තට ඉඩ දී වෛද්‍ය පීඨයේ විභාගයට වාඩි වෙන්නට ඔහුට සිදු විය. ඔහු මුළු උත්තර පත්‍රයම හිස්ව තැබුවේය. විභාගය අසමත් වූයේය. ඉන්පසුව ඔහුට කැමැත්තක් කරගන්නට තාත්තාගෙන් අවසර ලැබිණ.

“චියුන් සුගිහාරා” තමන් කැමැති විෂයයන් ඉගෙනගෙන තානාපති සේවයට එක් වන විටත් ඔහුගේ ඒ හිතුවක්කාරකම නොවෙනස්ව පැවතිණ. තානාපති සේවයට එක් වූ ඔහු 1934 අවුරුද්දේදී මැන්චූරියා හි ජපාන විදේශ කටයුතු දෙපාර්තමෙන්තුවේ උප තානාපති ධුරයට පත් වූයේය. පසුව චීනයට ජපානය දැක්වූ සැලකිලිවලට විරෝධය පාමින් ඔහු එයින් ඉල්ලා අස් වූයේය. මේ කාලය වන විට ලොව පුරා සිටින යුදෙව්වන් මුහුණ පා සිටියේ මහත් බියකරු ඉරණමකටය. සුගිහාරා උන් පරිසරයේ කිසිවෙකු ඒ ගැන ඒ හැටි තැකීමක් නොකළත්, යුදෙව්වන්ගේ අසරණ බව ගැන සුගිහාරාගේ හිත කම්පා වී තිබිණ.

ඒ දෙවන ලෝක යුද්ධ කාලයයි. 1939 වසරේදී සුගිහාරාව රාජකාරිය පිණිස ලිතුවේනියාවේ කොන්සල් කාර්යාලයකට යවා තිබුණි. ඒ වන විට ජර්මානුවන් විසින් අත්පත් කරගෙන තිබුණු පෝලන්තයෙන් යුදෙව්වෝ පලා යමින් උන්හ. එසේ පලා යන්නට තැත් කරන යුදෙව්වෝ වීසා ලබා ගන්නට සහය පතමින් සුගිහාරාව හමුවන්නට පැමිණියහ. සුගිහාරාට ඔවුන්ට පිටුපාන්නට සිතක් නොවීය.

ඇරත් ඔහු කුඩා කල පටන්ම ඇදහූයේ තමන්ගේ පිහිට පතා එන කිසිවකුට පිටුපෑම නොකළ යුතු දෙයක් බවයි.

“තමන්ගේ සරණ පතා එන ගේ කුරුල්ලෙකුටවත් වෙඩි තියන්නට දඩයක්කාරයෙකුටවත් අයිතියක් නැත..” ඒ ඔහු කුඩා කල අසා තිබූ සමුරායි පිරුළකි. ඔහු ඒ කතාව දැඩිව තම ජීවිතයට අදාළ කරගෙන උන්නේය.

එනිසා වීසා ලබා ගන්නට තමන්ගේ පිහිට පතා එන යුදෙව්වන් වෙනුවෙන් කුමක් හෝ කරන්නට ඔහු හිතුවේය. මේ සරණාගතයින්ට වීසා ලබා දෙන්නට අවසර පතමින් ඔහු තමාගේ තානාපති කාර්යාලයට ලියුමක් ලිව්වේය. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ඔහු නැවතත් එම ඉල්ලීමම ඉදිරිපත් කළේය. නැවතත් එය ප්‍රතික්ෂේප විය.

තුන්වෙනි වරටද ඔහු ඉල්ලීම ලියා යැව්වේය.

“සංක්‍රමණික වීසා සම්බන්ධයෙන් එවූ ලිපිය සම්බන්ධවයි. කිසිදු සරණාගතයකුට වීසා සංක්‍රමණික වීසා නිකුත් කිරීම කිසිසේත් කළ නොහැකියි. නැවත විමසීමක් නොකරන්න.”

විදේශ ඇමැති කේ. ටනාකා ගෙන් ඔහුට කේබල් පණිවිඩයක් ලැබිණි.

ඔහු තුළ උන් හිතුවක්කාරයා අවදි විය.

කෙසේ හෝ සරණාගතයින්ට පිහිට වෙන්නට ඔහු ඉටා ගත්තේය.

නිවසට ගිය ඔහු බිරිඳ යුකිකෝට කතා කළේය. සිදුවුණු හැම දෙයක්ම ඇයට කීවේය.

“රස්සාවට මොනව වුණත් කමක් නෑ. රස්සාවක් හොයා ගන්න බැරියැ.. අපි ඒ මිනිස්සුන්ට උදව් කරමු..”
යුකිකෝ කීවාය.

මිනිස් ජීවිත වෙනුවෙන් රජයට අකීකරු වෙන්නට ඔහු තීරණය කළේය.

ඒ වන විටත් සුගිහාරාගේ නිවස වටා දිවි බේරාගෙන පලා යන්නට පිළිසරණක් පතන යුදෙව්වෝ දහස් ගණනක් රැස්ව උන්හ.

වීසා ලබා දෙන්නට ලියකියවිලි සැකසීම කළ යුතුය. ඒ කාලයේ ඒ ලියකියවිලි වැඩවලින් වැඩි හරියක් කළ යුතු වූයේ අතින් ලිවීමෙනි. ඔහු තනිවම ඒ සියල්ල කළේය. දිවා රාත්‍රී දෙකෙහිම වීසා ලීවේය. මාසයක් තුළදී නිකුත් කෙරෙන වීසා සංඛ්‍යාව ඔහු එක් දිනකට නිකුත් කළේය.

උදේ පටන් රෑ වන තුරු එක දිගට වීසා ලියන ඔහුගේ දෑත් රෑ වන විට වෙහෙසින්ම හිරිවැටී ගොසිනි. උණුවතුර බඳුනක් හා තුවායක් රැගෙන එන යුකිකෝ ඔහුගේ දෑත් තවන්නීය. ඒ වෙහෙසින්ම පැය කීපයක් නින්දට යන ඔහු පාන්දර අවදි වී නැවතත් ලියන්නට පටන් ගනී.

1940 සැප්තැම්බර් මාසයේදී ජපාන තානාපති කාර්යාලය වසා දමන ලදී. එහෙත් අවශ්‍ය ලිපි ලේඛනත් රජයේ මුද්‍රාවත් සොරකම් කරගත් සුගිහාරා තමන්ගේ නම යොදා ගනිමින් එක දිගටම වීසා නිකුත් කිරීම කළේය. කිසිදු නීත්‍යානුකූල භාවයක් නොතිබුණත් ජපානය හරහා විවිධ රටවලට යා හැකි වන පරිදි වීසා 6,000කට අධික ප්‍රමාණයක් ඔහු විසින් නිකුත් කොට තිබිණ. බොහෝ විට මුළු පවුලකටම පලා යන්නට මේ එක වීසා එකක් පමණක් ප්‍රමාණවත් වූ අවස්ථාවන් ගැන ඇති තරම් අසන්නට ලැබිණ.

මේ තනි මිනිසාගේ අත් අකුරු වලට පින් සිදු වෙන්නට මිනිසුන් 40,000 ක් පමණ අදටත් ජීවත් වෙති.

කොන්සල් කාර්යාලය වසා දැමීමත් සමග සුගිහාරාට එයින්ද පිට වෙන්නට සිදුවිණ. තව දුරටත් වීසා නිකුත් කිරීම පිණිස ඒ තානාපති නිල මුද්‍රාව සුගිහාරා විසින් සරණාගතයකුටම ලබා දුන්නේය. නිල මුද්‍රාව ලබා ගත් සරණාගතයා දුම්රියෙන් ගමන් කරමින් සිටියදී පවා දුම්රිය කවුළුවෙන් දුම්රිය වේදිකාවල උන් සරණාගතයින්ට මුද්‍රාව සහිත වීසා ලියකියවිලි විසි කරමින් ගියේය.

යුද්ධය නිමා විය. සුගිහාරා සිය රට ගොස් උන්නේය. ඔහු විසින් ඉහළ නිලධාරීන්ගේ අණ නොතකමින්, සරණාගතයින්ට වීසා නිකුත් කරමින් කළ හිතුවක්කාරකම ගැන අදාළ අංශවලට වාර්තා වී තිබිණ. ඔහුට කැඳවුමක් ලැබිණි.

සුගිහාරා නිදහසට කරුණු කීවේ නැත. වරද පිළිගත්තේය.

“මේක රාජකාරිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මනුෂ්‍යත්වය ගැන කතාවක්. මගේ හිත ඇතුළේ මනුෂ්‍යත්වය නැති කරගෙන, රස්සාව ආරක්ෂා කරගෙන මට පලක් නෑ. මගේ තැන වෙන කවුරුහරි හිටියත් කරන්නේ මේකම තමයි.. මමත් ඒකම කළා. එච්චරයි. රස්සාව නැති වුණාදෙන්.. මිනිස්සුන්ගෙ ජීවිත බේරුණානේ..”

ඔහු කීවේය.

ඉතින්.. ඔහුගේ රස්සාව නැති විය. එහෙත් රස්සාව නැති වීම සුගිහාරාට ප්‍රශ්නයක් වූයේ නැත. ඔහුගේ බිරිද යුකිකෝ ඒ ගැන වද වුණේද නැත. සුගිහාරා කම්කරු රැකියාවක් සොයා ගත්තේය. එයින් ලැබුණු මුදල පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් වූයේ නැත. අගහිඟකම් මතු වෙන්නට විය. ඒ නිසාම යුකිකෝද මෙහෙකාරකම් කරන්නට පටන් ගත්තාය.
තානාපති සේවයේ යෙදෙමින් ඉහළ පෙලැන්තියේ ජීවිතයක් ගත කළ සුගිහාරාගේ පවුල දුප්පතුන්ගේ පන්තියට වැටිණ. ඔවුන්ගේ ජීවිතය දුෂ්කර විය. එහෙත් ඔවුන් ඒ දුක බාරගත්තේ සතුටිනිි. තමන් නිසා දහස් ගණනක් මිනිස් ජීවිත රැකුණු බව සිහි වන විට දැනෙන සතුට මහා ධනයක් වී ඔවුන්ව සිතින් ධනවතුන් බවට පත් කර තිබිණ.

ඒ සතුට සිතින් පමණක් විඳ ගනිමින් ඔවුහු නිහඬ, සරල දිවියක් ගත කළහ. එහෙත් ඒ 1968 අවුරුද්ද වන තුරු පමණකි.

1968 දී සුගිහාරාට අමුත්තෙකු මුණ ගැසිණ. සුගිහාරාට ඔහුව අඳුනා ගන්නට නොහැකි වුණත් ඔහු සුගිහාරාව අඳුනා ගත්තේය. ඔහු සුගිහාරා ළඟට පැමිණ සුගිහාරාව වැළඳගෙන හඬන්නට වූයේය. මේ අමුත්තා යෙහෝෂුවා නිශ්රි ය. නිශ්රි සුගිහාරාගේ උපකාරය නිසා පෝලන්තයෙන් පලා ගොස් දිවි ගලවා ගත් යුදෙව් තරුණයෙකි. දැන් ඔහු ජපානයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සේවය කරයි.

නිශ්රි, සුගිහාරාව තමන්ගේ රටට කැඳවාගෙන ගියේය. මිල මුදල් නොමැතිව හුදෙකලා පවුලක් ලෙසින් ජීවත් වුණු සුගිහාරාගේ පවුලට දහස් ගණන් යුදෙව් නෑදෑයෝ එහි විය. ඔවුහු සුගිහාරාට කෘතගුණ දැක්වූහ. සුගිහාරාගේ මනුෂ්‍යත්වයේ මෙහෙයුම ලෝකයටම කියා පාමින් ඔහුට උපහාර දැක්වූහ.

සුගිහාරාගේ වීරත්වය ගැන ඔහුගේම රටේ මිනිසුන් පවා දැනගන්නේ ඉන්පසුවය. ඔහු නැවතත් තම රටට එන්නේ වීරයකු ලෙසිනි. ඔහුට ගෞරව පිණිස ඔහු උපන් ගමේ, ඔහු ඉගෙනුම ලැබූ පාසලේ ඔහුගේ ලෝකඩ පිළිරුවක් පිහිටවනු ලැබිණ. මේ පිළිමය පෙන්වමින් අදටත් එරට ගුරුවරුන් සිසුවන්ට කියා දෙන එක් දෙයක් ඇත.

“ඔබේ හදවතේ දොරටු විවර කරනවාද, නැතිනම් එය වසා අගුළු ලනවාද කියා තීරණය කරන්නට ජීවිතයේ කවදා හෝ ඔබටත් අවස්ථාවක් එළඹෙනු ඇත. ඒ මොහොතේදී ඔබ විසින් අමතක නොකළ යුතු එක වැකියක් ඇත. ඒ “තමන්ගේ පිහිට පතා එන කුරුල්ලෙකුටවත් වෙඩි තියන්නට දඩයක්කාරයකුටවත් අයිතියක් නැත.” යන්නය.

නිම්මි මුදිතා හේරත්

මූලාශ්‍ර