Responsive image
English site
English site

දිනය: 18-02-2016 | වේලාව: ප.ව 03:20 | 182

ඉන්දියාවෙන් ඉන්දුනීසියාවට - ගමන දුරයි පරිස්සමින්

 

ඉන්දියාවේ පැවති සාග් ක්‍රීඩා උළෙලේදී රන් 25ක්, රිදී 63ක්, සහ ලෝකඩ 98ක් සමගින් පදක්කම් 186ක් දිනා දෙවැනි තැන දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

මීට පෙර 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලබා ගත් පදක්කම් 178 පසුකර යාමට මෙවර සමත්වීම කැපී පෙනුණි.

එහෙත් එවර ශ්‍රී ලංකාව රන්පදක්කම් 37ක් දිනා ගත්තද මෙවර හිමිවූයේ රන් පදක්කම් 25ක් පමණි.  

දකුණු ආසියාවේ දැවැන්තයන් ලෙස සැලකෙන ඉන්දියාව රන් 188ක් රිදී 90ක් හා ලෝකඩ 30ක් සමගින් පදක්කම් 308ක් දිනා සමස්ත ශූරයන් බවට පත්විය.  

විදේශයකදී පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව පදක්කම් 186ක් දිනා ගැනීම සතුටට කරුණක් වුවද ඉන්දියාව පසුකර යාමට තව බොහෝ දුරක් ගමන් කිරීමට සිදු වී ඇති බව පැහැදිලි කරුණකි.

ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු රඳවාගෙන සිටි මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් වැඩි ප්‍ර‍මාණයක් හිමි නොවීම කණගාටුවට කරුණක් වී තිබේ. පසුගිය 2010 ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් 8ක් දිනාගත් අතර මෙවර හිමිවූයේ රන් 9ක් පමණි.  වසර 5කට පසු මලල ක්‍රීඩාවෙන් අත්වී ඇති ප්‍ර‍ගතිය එක් රන් පදක්කමක වෙනසකට සීමා වී තිබේ.  

මෙවර ක්‍රීඩා උළෙලේදි දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වීමට හිමාෂ ඒෂාන් සහ රුමේෂිකා රත්නායක සමත්වීම කැපී පෙනෙන ගෞරවනීය තත්ත්වයකි.  නවක තරුණ ක්‍රීඩකයන් දෙපලක් වන හිමාෂ  හා රුමේෂිකා ශ්‍රී ලංකාවේ අනාගත ආසියානු පදක්කම් බලාපොරොත්තු බවට පත් වී තිබේ.

ශ්‍රී ලංකාවට මෙවර ගෞරවය රැගෙන ආ පිහිනුම් ක්‍රීඩාවෙන් මැතිව් අබේසිංහ හා කිම්කෝ රහීම් වාර්තා පිට වාර්තා පිහිටුවීම විශේෂත්වයකි.  මැතිව් රන් 7ක් දිනද්දී කිම්කෝ රන් 5ක් දිනා ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවැනි තැනට ගෙන ඒමට ප්‍ර‍බල දායකත්වයක් සැපයීය.

ජූලියන් බෝලිං රන් පදක්කම් 6ක් දිනා තබා තිබූ වාර්තාව වසර 25කට පසු බිඳ දැමූ මැතිව් අබේසිංහ විශිෂ්ට ක්‍රීඩකයෙකු බව ජූලියන් බෝලිං මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙවර බොහෝ ක්‍රීඩා වලින් ශ්‍රී ලංකාව පසු බැසීමකට ලක්වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මලල ක්‍රීඩා හා පිහිනුම්වලට අමතරව ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිවූයේ පාපැදි (2) වූෂූ (1) හා බර ඉසිලීම (1) පමණි.  

බොහෝ කණ්ඩායම් ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාව පසුබැස තිබූ අතර සමහර ක්‍රීඩා සඳහා කණ්ඩායම් යැවීම නිෂ්ඵල වියදමක් දැරීමක් බව පෙනුණි.  

මීටර් 4x100 සහය ඉසව්වේ පිරිමි කාන්තා රන් පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වූ නමුත් සැමදා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රන් පදක්කම් දිනාගන්නා  මීටර් 4x400 ඉසව්වෙන් ලැබුණේ රිදී පදක්කම් දෙකක් වීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍ර‍ජිත් කුරේට රන් පදක්කම් අහිමිවීම කණගාටුදායක සිදුවීමක් විය.  

පාපැදි ක්‍රීඩාවෙන් ජීවන් ජයසිංහ රන් 2ක්ද, වූෂු ක්‍රීඩාවෙන් හසිත ලක්ෂාන්ද, බර ඉසිලීමෙන් සුදේශ් පීරිස් රන් පදක්කම් දිනද්දී ඉඳුනිල් හේරත් (මීටර් 800), මංජුල කුමාර (උස), ඉෂාර සඳරුවන් (රිටි පැනීම), තමාලි ලියනාරච්චි (මීටර් 800), සුසංජය සිල්වා (මීටර් 200) රන් පදක්කම් දිනා ගත්හ.

පදක්කම් රැසක් දිනා ගැනීම සතුටට කරුණක් වුවද ශ්‍රී ලංකාව දකුණු ආසියානු ප්‍ර‍තිඵල අනුව ආසියානු මට්ටමේදී සිටින්නේ පහළ ස්ථානයක බව සංසන්දනාත්මකව බැලීමේදී පෙනෙයි.

එහෙයින් ආසියානු පරිසාධන මට්ටම හා ශ්‍රී ලංකාවේ වත්මන් දක්ෂතා මට්ටම සලකා බලා 2018 ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට යැවිය යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගෙන ඔවුන්ට සියලුම පහසුකම් ලබා දීම දැන්ම ආරම්භ කළ යුතු වේ.  

සාග් මට්ටම හා ආසියානු මට්ටම අතර විශාල වෙනසක් ඇති බැවින් ආසියානු පදක්කම් දිනා ගැනීම මෙතරම් පහසු නොවන බව ක්‍රීඩා බලධාරීන් අවබෝධ කරගැනීම වැදගත් වේ.    

 

මූලාශ්‍ර