Responsive image
English site
English site

දිනය: 08-11-2016 | වේලාව: ප.ව 12:56 | 523

උතුරේ ‘ආවා’ හා දකුණේ ‘අච්චාරු ආවා’

“ආවා” අද මෙරට ආන්දෝලනාත්මක වචනයකි.  

අතීතයේ දී නම් අපි කීවේ “ආවා ගියා” කියලාය. ඒ පැමිණි සැණින්ම යන්නන්ටය.  නමුත් මේ ආවා ඊට වෙනස්ය.  නූතන “ආවා“ ආවාට ගියේ නැත.    නොගොස් කරක් ගසමින් සිටින්නට වූයේය. නූතන ආවා කරක්ගසමින් සිටින්නට පටන් ගත්තේ උතුරුකරයේය.  උතුරේ කරක් ගසන ආවාට උතුරුකරයේ ජනතාව දක්වන්නට වූයේ මහත් බියකි.  

නමුත් උතුර බියවැද්දූ ආවා ගැන දකුණ කතාකරන්නට වූයේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඝාතනය වීමත් සමඟය.  ඒ පසුගිය 20 වැනිදා යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී පොලීසිය තැබූ වෙඩි පහරකිනි.  මෙම සිසුන් දෙදෙනා යාපනයේ කොකාවිල් ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බවත්, මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ට යතුරු පැදිය නවත්වන ලෙස  අණ කළද ඔවුන් පොලිස් අණ නොතකා ධාවනය කළ බවත් ඒ අවස්ථාවේදී පොලීසිය වෙඩි තැබූ බවත් සඳහන් විණි.  මෙම පොලිස් වෙඩි පහර වැදුණු බව පැවැසුනේ යතුරු පැදිය ධාවනය කළ ශිෂ්‍යයාටය. එහිදී සිදුවූ යතුරු පැදි අනතුරෙන් අනෙක් ශිෂ්‍යයා මිය ගිය බව පැවැසිණි.  

පොලීසිය මෙසේ රැකවල්ලා සිට ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක යතුරුපැදි කල්ලියක සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට බව පැවැසේ.

මෙම කල්ලියට “ආවා කල්ලිය” යැයි කියති.  

අවි සහ කඩු රැගෙන යාපනය අර්ධද්වීපයේ ජනතාව බියට පත්කරමින් යතුරු පැදිවල  සැරිසරන මෙම කුප්‍ර‍කට ආවා කල්ලිය මෑතදී යාපනයේ සිදුවූ ප්‍ර‍චණ්ඩකාරී සිදුවීම් ගණනාවකටම සම්බන්ධ යැයි කියති. මෙම ප්‍ර‍චණ්ඩ සිදුවීම් අතරට නොබෝදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිදුකළ දරුණු පහරදීමක්ද අයත් වන බව එම කල්ලියම කළ ප්‍ර‍කාශයකින් පිළිගෙන තිබිණි.  

ආවා පිළිබඳව වඩාත් ඇස් ඇරෙන්නේ ඔවුන්ගේ මෙම “පම්පෝරියත්” සමඟිනි.   

මේ හා සමඟම උතුරේ මෙන්ම දකුණේ දේශපාලනඥයෝද මේ ආවා කල්ලිය පිළිබඳව විවිධ මත පළ කරන්නට වූහ.  රටේ විපක්ෂ නායක ආර්. සම්බන්දන් මෙන්ම උතුරු පළාතේ දේශපාලන නායකයින් කිහිපපොළක්ම ආවා කල්ලියේ ක්‍රියාකලාපය හෙළා දකිමින් ඔවුන්ට එරෙහිව විවේචන මෙන්ම චෝදනා එල්ල කළෝය.  

කෙසේ වුවද “දෙබරයට ගල් ගැහුවේ” අමාත්‍ය මණ්ඩල ප්‍ර‍කාශක අැමැති දොස්තර රාජිත සේනාරත්නය.  ඔහු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පසුගිය 2දා ආන්දෝලනාත්මක ප්‍ර‍කාශයක් කළේය. උතුරේ ක්‍රියාත්මක ආවා කල්ලිය එදා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය උපදෙස් හා අනුදැනුම යටතේ  තමාගේ මිත්‍රයෙකු වූ හිටපු හමුදා නිලධාරියෙකු විසින් නිර්මාණය කරන ලදැයි රාජිත කීවේය.  

එම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් පෙරළා ප්‍ර‍ශ්න කළද ආරක්ෂක ලේකම්ගේ නම හෝ තමාගේ මිත්‍රයෙකු බව කී හමුදා නිලධාරියාගේ නම හෝ හෙළි කිරීමට රාජිත සූදානම් වූයේ නැත.

රාජිත යනු එසේ මෙසේ දේශපාලන චරිතයක් නොවේ.  එමෙන්ම රාජිත යනු පුරුදුවෙන්නට දේශපාලනය කරන්නෙකුද නොවේ.  ආණ්ඩු හදන්නට මෙන්ම ආණ්ඩු කඩන්නටද හපන් පෙරළිකාරයෙකු ලෙස රාජිත ප්‍ර‍කටය.  සාමාන්‍යයෙන් රාජිත ප්‍ර‍කට බය නැති දේශපාලනඥයෙකු ලෙසය.

ඒ වගේම වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍ර‍කාශකයා රාජිතය.  කැබිනට් ප්‍ර‍කාශක තනතුර යනු සුළු පටු තනතුරක් නොවේ.  රනිල් වික්‍ර‍මසිංහ, ලලිත් ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න, ධර්මසිරි සේනානායක එම තනතුර හෙබවූ දේශපාලන චරිත අතරින් අප මතකයට එන නම් කිහිපයකි.  එදා පවා එම තනතුර හෙබවූවෝ මාධ්‍යයට කළ ප්‍ර‍කාශවලට ලැබුණේ විශාල පිළිගැනීමකි.

ඒ නිසා මෙම ආවා කල්ලිය ගැන මතු කී ආන්දෝලනාත්මක ප්‍ර‍කාශය කිරීමට මත්තෙහි එහි ගැඹුර රාජිත නොදැන සිටියා වන්නට බැරිය.  

වග විභාගයක් නැතිව අයාලේ යමින් ප්‍ර‍චණ්ඩ ක්‍රියා සිදුකරන අපරාධ කල්ලියක් නිර්මාණය කිරීමට රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම උසස් හමුදා නිලධාරියෙකුද මුල්වූ බව රටේ කැබිනට් ප්‍ර‍කාශකයා ප්‍ර‍කාශ කිරීම බරපතලය. එමෙන්ම ආරක්ෂක හමුදා විෂයයෙහි ගතවූ යුධ සමය පාදක කොටගෙන විවිධ චෝදනා ජාත්‍යන්තරව පවා නැගෙන වකවානුවක එය අතිශයින්ම  බරපතලය.  

නමුත් රාජිත මෙම පුද්ගලයන් දෙදෙනාගේ නම් හෙළි නොකරන්නේය. ඔහු එසේ හෙළි නොකරන්නේ හමුදා නිලධාරියා තම මිතුරෙකු නිසා යැයි ඇතැමෙකුට තර්ක ගොඩනගන්නටද පුළුවන.  නමුත් රාජිත වැනි දේශපාලන පළපුරුදුකාරයෙකු මිතුරුකම් හේතුවෙන් එවැනි පියවර නොගනු ඇතැයි අපි සිතමු.  මන්ද ඔහුගේ වචනයෙන්ම වරක් ප්‍ර‍කාශ කළ පරිදි ඔහු තම හිත මිතුරු මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් රාජපක්ෂ සමඟ පැවැති මිතුරුකම් පවා නොතකා ඉවත් වූයේය.  ඒ ආණ්ඩුවේ පිළිවෙළ ඔහුට අපිළිවෙළ වූ බැවින්ය.  

කෙසේ වුවද රාජිතගේ මෙම ප්‍ර‍කාශයට පසුදිනම පිළිතුරු බැන්දේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂය. රාජිත සේනාරත්න කතා ගොතමින් විකාර කතා කරන බව ඔහු කීය.  රාජිතගේ ප්‍ර‍කාශය මුසාවක් බවත් එම ප්‍ර‍කාශයෙන් හමුදාව අපහසුතාවයට පත් කරන බවත් ඔහු අවධාරණය කළේය.  

මේ සිදුවීමෙන් ආවා ගැන නොදන්නා අයත් ආවා ගැන විමසන්නට විය.

‘ආවා’ සංකේත නමක් යැයි බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවේ.  එය කල්ලියක සංකේත නමක් නොවේ.  එය පුද්ගල නාමයකි.  ආවා නම ඊට ලැබුණේ කල්ලි නායකයා නිසාය.  කුමරේසරත්නම් විනෝදන් හෙවත් ආවා එහි නායකයාය.  

ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බවට මාධ්‍ය වාර්තා පළවන්නේ 2014 ජනවාරි 14දාය.

එදින ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන “ඒෂියන් ට්‍රිබියුන්” වාර්තා කරන්නේ යාපනයේ පාතාල කල්ලියක් වන ආවා කල්ලියේ ප්‍ර‍ධානීන් 13 දෙනෙකුම ඒ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බවය.  ඔවුන් අච්චුවේලි, මානිපායි, කෝපායි, සහ චුන්කාමම් යන පොලිස් බල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තාව සඳහන් කරයි.   

එම කල්ලියේ නායකයා ලෙස සැලකෙන ඉනුවිල් ගමේ කුමරේසරත්නම් විනෝදන් නොහොත් “ආවා” ද ඒ අතර වන බව එම වාර්තාව කියයි.  ඒ වන විට කුමරේසරත්නම් විනෝදන් නොහොත් “ආවා” ගේ වයස අවුරුදු 21කි.  ඒ සමග යතුරුපැදි 9ක් ,අත්බෝම්බයක්, කඩු 12ක්, නකල්ස් හා වෙනත් අවි ආයුධ අත් අඩංගුවට ගත් බව එම වාර්තාව එදා සඳහන් කළේය.  මෙම අවි සමග ඡායාරූපයකට පෙනී සිටි ඒ අත්අඩංගුවට ගැනීම කළ පොලිස් නිලධාරීන්ගේ පින්තූරයක්ද ප්‍ර‍වෘත්තිය සමග පළව තිබුණි.   

මෙම යතුරු පැදි කල්ලියට දෙමළ සිනමාවේ ආභාෂය ලැබී තිබුණ  බව පොලීසිය එදා විශ්වාස කළේය. විනෝදන්ගේ අත්අඩංගුවෙන් පසු ආවා මෙහෙයවීම සෙන්තූරන් නැමැත්තකු අතට පත් වූ බව කියයි.  

කෙසේ වුවද ඉන් පසු කතාබහට ලක් නොවූ ආවා කල්ලිය යළිත් කල එළි බහින්නේ පසුගියදා විශ්වවිද්‍යාල සිසුන්ට වූ වෙඩි තැබීමේ සිද්ධියත් සමඟය.  

මේ අනුව බලන කළ, ආවා බිහිව ඇත්තේ යුධ සමයේද ? යන ප්‍ර‍ශ්නය නැගීම සාධාරණය.  2014 අත්අඩංගුවට පත් වන විට ආවාට වයස 21ක් නම් 2009 යුද්ධය නිමා වන වසර වන විට ඔහුගේ වයස විය යුත්තේ අවුරුදු 16කි.  ආවා බිහිවුනේ යුද්ධ නිමාවට පෙර නම් ආවා කල්ලියේ නායකයා අවුරුදු 12 හෝ 14කදී ආවා කල්ලිය ආරම්භ කළ යුතුය. මෙය සාමාන්‍ය සරල ප්‍ර‍ශ්නයකි.    

එසේ නම් රාජිත කියන පරිදි  ලංකාවේ හමුදා ලොක්කා හා ආරක්ෂක ලේකම් පැඟිරිවියේ කොලු ගැටයෙකුගෙන් ආවා කල්ලියක් හැදුවේද? හැදුවේ නම් එදා උතුරේ ආවා හදන්නට අරමුණක් තිබිය යුතුය.  අපේ සාමාන්‍ය මොළයට හිතාගත හැකි ආසන්නම හේතුව නම් යුධ සමයේ කොටින් සමග හැප්පීමයි. ප්‍ර‍භාකරන්  හා කොටි සමග හැප්පෙන්නට පැඟිරි කොල්ලෙකුගේ ආවාට පුළුවන් වේවිද ?  මෙවැන්නක් එකළ හිටපු හමුදාපතිවරයා දැන සිටියේම නැතිද?

මේ අතර ඔක්තෝබර් 25දා නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී යාපනයේ සිදුවූ පොලිස් වෙඩිතැබීමේ සිදුවීම පිළිබඳව විශේෂ ප්‍ර‍කාශයක් කළේය. එහිදී ඔහුගෙන් ආවා කල්ලිය ගැන මෙවන් සඳහනක් කෙරිණි.  

“පසුගිය කාල පරිච්ඡේදය තුළ එනම් 2014 වර්ෂයේ සිට මේ දක්වා යාපනය අර්ධද්වීපය තුළ වර්ධනය වී තිබූ අපරාධ විශේෂයෙන් ආවා ගෘෘප් නැමැති කන්ඩායමක් බිහිවීමේ පසුබිම තුළ මෙම අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් විවිධ අපරාධ නිවාරණ රාජකාරි ක්‍රියාත්මක කර ඇත. යාපනය අර්ධද්වීපයේ සිදුවන අපරාධ සිදුකරනු ලබන ආවා ගෘෘප් නැමැති කල්ලිය යතුරුපැදි භාවිතා කරමින් මෙම සියලු අපරාධ සිදුකර ඇති අතර එවන් වාතාවරණයක් තුළ රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ මෙලෙස පොලිස් අණ නොතකා ධාවනය කරන්නාවූ යතුරුපැදිකරුවන් යම් අපරාධයක් සිදුකර හෝ යම් අපරාධයක් සිදුකිරීමේ අදහසින් වේගයෙන් ධාවනය කරන්නේද යන්න ගැන යම් සාධාරණ සැකයක් උපදින අතර මෙම සිදුවීමද ඒ ආකාරයෙන් වටහාගත් සිද්ධියක් බවට බොහෝ දුරට නිරීක්ෂණය වේ.  මෙය 2016.10.23 වන දින චුන්නාකම්හි දී බුද්ධි අංශ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල් වැසියෙකු කපා කොටා තුවාල සිදුකර කොල්ලකා අපරාධකරුවන් පළා යෑමේ සිද්ධිය මගින් තහවුරු වේ.”

සාගලට අනුව නම් යාපනය අර්ධද්වීපය තුළ අපරාධ වර්ධනය වන්නේ 2014 පටන්ය.  ඒ ආවා ගෘෘප් නැමැති කණ්ඩායමක්  බිහිවීමේ පසුබිම තුළය. ආවා කල්ලි නායකයා පොලිස් අත්අඩංගුවට පත්වූ බවට මාධ්‍ය වාර්තා පළවන්නේද 2014දීය.  ඒ අනුව බලන කළ සාගල මෙන්ම මාධ්‍ය වාර්තා ආවා ගැන කථා කරන්නේද එකම වසරක් සඳහන් කරමිනි.  

පොලීසිය අයිති ඇමැති වූ සාගල රත්නායක පාර්ලිමේන්තුවට එහෙම කියන විට රටේ ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ඉකුත් සති අන්තයේදී තම දේශපාලන බල ප්‍රදේශය වූ බියගමදී උත්සවයකට සහභාගි වෙමින් කීවේ ආවා කල්ලියට දේශපාලන හෝ හමුදාමය සම්බන්ධතාවක් නැති බවයි.  ආවා කල්ලියේ නායකයන් හඳුනාගෙන ඇති බවත් කෙටි කලකින් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් ඔහු කීය.

රුවන්ගේ මෙම ප්‍ර‍කාශය සිදු කෙරුණේ පසුගිය 5දාය.  ඊයේ (07) ආවා කල්ලියේ 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කියැවිණි.  

මේ අතර හමුදා සාමාජිකයෙකු වන බවට වාර්තාවක් පළ වුවද එවැන්නක් වාර්තාවී නැතැයි කියා පළවූ වේගයෙන්ම හමුදාව ප්‍ර‍තිචාර දැක්වීය.

බලාගෙන යනකොට උතුරේ ආවා කෙසේ වුවත් දකුණේ ආවා අච්චාරු හැළියක්ය.  ඇත්තටම කියුවොත් එය ‘දේශපාලන අච්චාරු හැළියක්’ය.  

ආවා ඇති කළේ යුධ සමයේදී (2009ට පෙර) හිටපු ආරක්ෂක ලේකම් හා මිතුරු හමුදා ලොක්කෙකුයැයි සෞඛ්‍ය ඇමැති කැබිනට් ප්‍ර‍කාශක රාජිත කියන විට, ආවා නිසා වර්ධනය වූ උතුරේ අපරාධ රැල්ල ඇතිවූයේ 2014 න් පසුව බව නීතිය හා සාමය ඇමැති සාගල කියයි.  

රටේ ආරක්ෂාව භාර රුවන් කියන්නේ ආවාට දේශපාලන හා හමුදාමය සම්බන්ධකමක් නොමැති බවයි.  

ආවා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් ගැන වාර්තා පළවන්නේද 2014දීය.  

මේ අනුව බලන කළ ආවා ගැන කටට ආවාට කථා කරන්නේ කවුදැයි අපට ප්‍ර‍ශ්නයකි.  ප්‍ර‍ශ්නයට උත්තරය සමාජයට බාරය.  

ඒ වුනත් කිව යුත්තක් තිබේ.  

තැබෑරුමකට හොඳ සිහියෙන් ගිය එකා වැඩේ පටන් ගන්නේ එක වඩියක් සප්පායම් වී වුනත් වඩි දෙක තුනක් යන විට ඌ සූර් වන්නේය.  

අපේ රටේ දේශපාලනයත් තැබෑරුමක් වගේය.  ඊට හොඳ සිහියෙන් රිංගන අපට අවසානයේ උරුම වන්නේ මේ කියුම් කෙරුම් නිසා ‘ඩෝප්’ වන්නය.

ඇත්තටම බැලුවොත් දැන් සමාජයටම 'ඩෝප්'ය .

 

මූලාශ්‍ර