Responsive image
English site
English site

දිනය: 29-08-2016 | වේලාව: පෙ.ව 11:32 | 462

කබරගොයි - තලගොයි රහස් සහ ෆයිල්

කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා යැයි කියමනක් ඇත.   

දැන් ආණ්ඩුව යන්නේ මේ කබරගොයි තලගොයි න්‍යායටය.

ආණ්ඩුවේ ඉන්නා කබරගොයා හෝ තලගොයා ගැන හෝ හොයන්නට කාටවත් ඉස්පාසුවක් හෝ ඕනෑකමක් නැති බව හැබෑය.  ඒත් කබරගොයි තලගොයි න්‍යායට ආණ්ඩු කරන්නට කාට කාටත් ඉඩදෙන්න ජනතාව සූදානම්ද නැත.  

මේ කබර - තලගොයි කතාව අද සටහනින් අපි කියන්නේ කටකහනවට නොවේ.  ඊට සාධක මේ ආණ්ඩුව තුළින්ම ඕනෑතරම් සොයාගෙනය.

පසුගිය ජනාධිපතිවරණ (2015) සමයේ වතාවක් මහින්ද රාජපක්ෂ තමන්ට එරෙහිව කටයුතු කරන්නත් හීලෑ කිරීම සඳහා කාගේ කාගේත් ෆයිල් තමන් ළඟ තිබෙන බව සදහන් කළේය.  රාජපක්ෂගේ ඒ කතාව එකළ අනියම් තර්ජනයක් වූයේය.  මහින්දට එරෙහිවූ දේශපාලනඥයින් කෙතරම් ඒ අනියම් තර්ජනයෙන් බයවූවාදැයි නොදනිමු.  නමුත් තමන්ට එරෙහි බලවේග පාලනය කිරීමට ෆයිල් කතා ඇද ගැනීම පිළිබඳව එකල යහපාලනය ගැන කතා කළ වර්තමාන ආණ්ඩුවේ ප්‍ර‍බලයෝ මහින්දව පතුරු ගැසූහ.  

ඔවුන් එකල මහින්ද පාලනයට හංවඩු ගැසුවේ රාජපක්ෂ රෙජීමය කියාය.     

රාජපක්ෂ රෙජිමයට එකල එල්ල වූ චෝදනාවලින් කුප්‍ර‍කට චෝදනාවක් වූයේ මැති ඇමැතිවරුන්ව අදිසි මුගුරකින් පාලනය කිරීමය.  රෑට ආප්ප කා දවල් පැනගියා යැයි රාජපක්ෂවරු චෝදනා එල්ල කළ ද ජනපති මෛත්‍රීපාල   සිරිසේනට දේශපාලන සහය ලැබීමට මෙම මුගුරු කථාව හේතුවූ බවට නම් තර්කයක් නොමැත.

එදා යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අයට ජනපති රාජපක්ෂගේ මෙම කතාව හොඳින් තලු මරන්නට හැකි බයිට් එකක් විය.  රාජපක්ෂ රෙජිමය හොරුන් ආරක්ෂා කරන්නේ යැයිද මෙම ෆයිල් කතාව ඊට හොඳම උදාහරණය යැයිද චෝදනා කෙරිණි.      

දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෆයිල් තිබෙන්නේ අස්සේ හංගාගෙන ඉන්නට නොව වරදකරුවන් ගැන සොයා බලා දඬුවම් කරන්නට යැයි යහපාලනකාරයෝ කීහ.  මේ නිසා රාජපක්ෂ රෙජිමයට එරෙහි වන්නන්ට විරුද්ධව ෆයිල් එළියට එනු ඇති බවත් පක්ෂපාතීවූවන්ගේ ෆයිල් යට යනු ඇති බවත් ඔවුහු කීහ.  ඒ නිසා කාගෙ කාගේත් ෆයිල් ගොඩගන්නට යහපාලනයට බලය දෙන්නැයි ඔවුහු මොරදුන්හ. 

යහපාලනකාරයන්ගේ මොරදීම ජනතාව හිස් මුදුනින්ම පිළිගත්තේය.  ඒ නිසා රාජපක්ෂ රෙජිමයම ගෙදර ගියේය.  ගෙදරගිය රාජපක්ෂ රෙජිමයම කුදලාගෙන ගෙනැවිත් රෙජිමයේ ෆයිල්ද සෙස්සන්ගේ ෆයිල්ද එළියට  ගන්නා දවස වැඩි ඈතක නැතැයි යහපාලනකාරයන්ගේ කතා ඇසූ ජනතාව බලා සිටියෝය.  දින සති මාසවලට පෙරලුණි.  රෙජිමයේ ඇත්තෝ විටින් විට පොලිස් කූඩුවේ ලැග්ගා ඇරෙන්නට දැනෙන්නට වූ දෙයක් නොමැති යැයි ජනතාව දැන් දැන් කනින් කොනින් කියති.  

මේ කසුකුසුව අතරේ යහපාලනයට එරෙහිව රාජපක්ෂ රෙජිමයේ ප්‍ර‍බලයෝ ඒකාබද්ධ විපක්ෂයක් පටන් ගත්හ.  දිනෙන් දින කතාබහට ලක්වූ ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රා තුළින් යාත්‍රා කරමින් අවසානයේදී නව පක්ෂයක කසුකුසුවක් කරා පැමිණියේය.  ඒකාබද්ධ විපක්ෂයේ නව පක්ෂ කථාව වඩාත් රත් කළේ ඩාලි පාරයි.  ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානය ඒකාබද්ධ විපක්ෂය නිසා රත්වන්නට වූයේය.  ඒ උණුසුම ඩාලි පාර හරහා මුළු රටටම ගලා ගියේය.  ඒ කතිකාවේ අලුත්ම පරිච්ඡේදය වූයේ ඒකාබද්ධ විපක්ෂයේ ඇත්තෝ ශ්‍රීලනිපයෙන් වෙන්ව අලුත් පක්ෂයක් බිහිකරන කතාවයි.  

අලුත් පක්ෂ කතාවෙන් ඩාලි පාරේ ලොක්කෝ ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව දඬු මුගුරු අතට ගත්තේය.    

ඒ සමගම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද අපූරු කතාවක් කීවේය.  අලුත් පක්ෂ හැදුවොත් මෙතෙක් සඟවාගෙන සිටින රහස් හෙළිදරව් කරන බවට අනතුරු ඇඟවීමත් ඔහුගේ කථාවේ විය.  රහස් හෙලිවුනොත් ඔවුන්ට පාරේ බැහැලා යන්නත් බැරිවනු ඇතැයි කීවේය.  

ජනපති සිරිසේනගේ මේ කතාව අතීතය සිහිපත් කළේය.  

එදා මහින්ද රාජපක්ෂ තමන්ට එරෙහිවන්නන්ට එරෙහිව ෆයිල් කතාව ගෙන ආ අන්දමටම අද මෛත්‍රීපාල සිරිසේන රහස් කතාවක් ගෙන ආවේය.    

මේ කතා දෙකම තමන්ට එරෙහි වුවහොත් සිදුවන දේ ගැන වූ රතු එළියකි.  

එදා රාජපක්ෂගේ රතු එළියට එරෙහිවූවෝ මෙදා රාජපක්ෂට ඒ රතු එළියම දල්වන්නට පටන් ගත්හ.  

මේ රතු එළි කතා දෙකම කිවේ තමන්ට එරෙහිවන්නන්ගේ කුණු එළියට අදින බවකි.  නැතිනම් ව්‍යංගයෙන් කියන්නේ පක්ෂ නම් කුණු සඟවන බවකි.  

තමන්ගේ ඔලුවේ අර මොනවාදෝ හංගාගෙන ඉස්සා මං සුදනා යැයි කියන්නේයයි අපේ ගැමී වහරේ කතාවකි    

තමන්ට අවැසි විට නරක හොඳ වෙන්නේ කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වන න්‍යායටය.  

රාජපක්ෂ රෙජිමය ජනතාව එපා කියුවේ කබරගොයි න්‍යාය වෙනුවට තලගොයි න්‍යාය ගෙන එන්නට නොවේ.  

රහස් තියාගෙන රතු එළි දැල්වීම මෙන්ම ෆයිල් තියාගෙන රතු එළි දැල්වීම ද එක හා සමානය.

ජනතාව ඒ දෙකම පිළිකුලෙන් ප්‍ර‍තික්ෂේප කරන්නේය.  

 

 

    

මූලාශ්‍ර