Responsive image
English site
English site

දිනය: 12-02-2019 | වේලාව: ප.ව 02:19 | 73

කෙනෙකුට "පට්ට", විටෙක "අර්ථවත් නැති", "සාහිත්‍ය විචාර" ද ලියවෙන ෆේස්බුක් කවි

ෆේස්බුක් සමාජ ජාලය අද වනවිට විවිධ අරමුණු සඳහා භාවිත කෙරේ. ඇතැම් විට එය ආණ්ඩු වෙනස් කිරීමට තරම් ප්‍රබල බව ඇතැමෙකුගේ මතය විණි. මේ බලය ෆේස්බුක් වෙත හිමි වී ඇත්තේ, ඒ වටා ගොනු වී සිටින සාමාන්‍ය ජනතාව හේතුවෙනි.

ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතය හේතුවෙන් භාෂාව සහ සාහිත්‍යය වෙනසකට ලක් වේද? විශේෂයෙන් "සිවිල් බලයක්" සහිත ෆේස්බුක් ජාලයෙන් සිංහල කවියට සිදුවන බලපෑම කෙබඳුද?
 

සිංහල කවියට ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතී. සිංහල කවිය සාමාන්‍ය ජනතාව අතර පවා කෙතරම් ජනප්‍රියත්වයට සහ විශිෂ්ටත්වය පත්ව තිබුණා ද යන්න සඳහා සීගිරි කුරුටු ගී කදිම උදාහරණයකි.

සිංහල කවිය පිළිබඳව පර්යේෂණ කළ විද්වතුන් පවසා ඇත්තේ, සීගිරි කුරුටු ගී හුදු වචනාර්ථය පමණක් ඇති කවි නොව ඒවා කාව්‍යාත්මක ලක්ෂණවලින් යුක්ත වූ විශිෂ්ට නිර්මාණ බවය.

කව් සිළුමිණ, ගුත්තිල කාව්‍යය, සැලළිහිණි සංදේශය ආදී විශිෂ්ට කාව්‍ය නිර්මාණවලට උරුමකම් කී සිංහල කවිය පසු කාලීනව විවිධ හේතු නිසා ගුණාත්මකභාවය අතින් පිරිහීමට ලක්වූ බව ඇතැම් විද්වත්හු පවසති.

එහෙත්, කොළඹ යුගයේ කවීන් නිසා සිංහල කවිය යළිත් ජනතාව අතරට ගෙන යාමට හැකි වූ බව පෙන්වා දෙන ඔවුන් එවැනි කවීන් අතර, විමලරත්න කුමාරගම සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි විශිෂ්ටයින් ද සිටි බව පවසති.

මහගම සේකර, සිරි ගුණසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, බුද්ධදාස ගලප්පත්ති, රත්නශ්‍රී විජේසිංහ ආදී විශිෂ්ට කවීන් නිසා සිංහල කවිය යළිත් කවීත්වයෙන් පිබිදී ආ බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමුදු කරුණාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. (විවිධ සම්ප්‍රදාය නියෝජනය කරන එම කවීන්ට අමතරව තවත් කවීන් රැසක් ද සිංහල කවිය පෝෂණය කර තිබේ.)
කෙසේ වෙතත්, සිංහල කවිය බොහෝ කාලයක් තිස්සේ පුවත්පත් හරහා ජනතාව අතරට පත්වූ අතර ඒ තුළින් දක්ෂ කවීන් පිරිසක් ද බිහි වූහ. සිංහල කවි නිර්මාණ පුවත්පත් සඳහා යම් තෝරා ගැනීමකට ලක්වූ අතර ලියන හැම කවිය ම පුවත්පත්වල පළ වූයේ ද නැත.
සිංහල කවිය සමග ෆේස්බුක් සමාජ ජාලය බද්ධ වීම ආරම්භ වූයේ, ෆේස්බුක් මත සිංහල බසින් ලිවීමේ අවස්ථාව ලැබීමෙන් පසුවය. මෙය කවි ලිවීමට කැමැත්තක් දැක්වූ සියලු දෙනාට ම පොදු කැටපත් පවුරක් බවට පත්වී ඇතැයි සාහිත්‍ය විචාරකයෝ පවසති.

ඒ අනුව, කවි ලිවීමට යම් දක්ෂතාවක් දක්වන්නන් මෙන් ම කවිය කුමක් ද යන්න වටහා නොගත් පිරිස් ද ෆේස්බුක් හරහා කවි පළ කළහ. එහි සාධනීය පියවරක් වූයේ, සිංහල කවිය කෙරෙහි ශ්‍රී ලාංකිකයින් අතර විශාල අවධානයක් යොමු වීමය.

ෆේස්බුක් කවි අධ්‍යයනය කළ විද්වතුන් විවිධ ලක්ෂණ පදනම් කර කොටස් දෙකකට වර්ග කර තිබේ.

    ගුහා කවි

    එළිමහන් කවි

ගුහා කවි යනු අතිශය පෞද්ගලික අත්දැකීමක් සම්බන්ධයෙන් කවීත්වයකින් තොරව සටහන් කරන කවි ලෙස සැලකේ. ඒවා බො

හෝ විට රචකයාගේ පෞද්ගලික අත්දැකීම් විෂය වූ සරල අදහසක් ජනනය කරන නිර්මාණ වේ.

එහෙත්, එළිමහන් කවි යනු අතිශය පෞද්ගලික අත්දැකීම්වලින් ඔබ්බට ගොස් පොදු ජනතාවගේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කර රචනා කරන ලද කවි වේ. එම කවි අතර ද කාව්‍යාත්මක නොවන නිර්මාණ පවතින අතර ඉතා උසස් නිර්මාණ ද පවතින බව විචාරක අදහසය.

ටිම්රාන් කීර්ති යනු ෆේස්බුක් හරහා පාඨක පිරිසක් ගොඩ නගා ගත් කවියෙකි.

ඔහු සාදය සූදානම් (2009), යන්නං චන්දරේ (2014) සහ පෙම්බරීගෙන් වෙන් වුණු ලූලෙක් හැරෙයි ඇළට (2018) යනුවෙන් කවි පොත් 3ක් ප්‍රකාශයට පත් කර තිබේ.

"මගේ කවි වටා පාඨකයින් පිරිසක් එක් වුණේ ෆේස්බුක් හරහා තමයි. මට ෆේස්බුක්වලින් මගේ කවි ජනතාව අතරට ගෙන යන්න ලොකු අවස්ථාවක් හිමි වුණා." ටිම්රාන් කීර්ති  පැවසීය.

"ෆේස්බුක් කියන්නේ ක්ෂණික ප්‍රතිචාර ලැබෙන, ක්ෂණිකව පාඨකයින් අතරට යන මාධ්‍යයක්. ඒ ප්‍රබලත්වය හොඳ කවියෙකුට ආශීර්වාදයක් වගේ ම ශාපයක් බවටත් පත්වෙනවා,"

ටිම්රාන් කීර්ති පවසන්නේ, ෆේස්බුක්හි පළ කෙරෙන කවි සම්බන්ධයෙන් කවිය අවබෝධ කර නොගත්, සාහිත්‍යමය රසයෙන් හීන පාඨකයින් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් කවි රචකයා අනවශ්‍ය ප්‍රසංශාවකට ලක්වන බවය.

"ගොඩක් වෙලාවට අපේ ෆේස්බුක් පිටුවල ඉන්නේ අපි දන්න හඳුනන අය, එහෙමත් නැත්නම් ෆේස්බුක් හරහා මිත්‍රයින් වූ අය. ඒ වගේ අය අපේ නිර්මාණ දිහා කවදාවත් විවේචනාත්මකව බලන්නේ නැහැ. ඒගොල්ලෝ ඕන ම කවියකට "පට්ට", "මරු" වගේ ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඒ වගේ ප්‍රතිචරවලින් කවියා ඇඳ ගත්තොත් එයාගේ කවීත්වය එතනින් ම ඉවරයි"

කෙසේ වෙතත්, සිංහල කවිය වටා පාඨක පිරිසක් එක්වීමත් සිංහල කවිය ජනප්‍රියත්වයට පත්වීමත් ෆේස්බුක් හරහා සිදුවූ බව ටිම්රාන් කීර්ති පැවසීය.

"මේ වෙනකොට මගේ කවි පොත් නම් හොඳින් අලෙවි වෙනවා. හොඳ කවි පොත් කියවන පාඨක පිරිසක් බිහි වෙලා තියෙනවා. මට හිතෙනවා සිංහල කවියට අනාගතයක් තියෙනවා කියලා."

තුෂාරිකා ඇන්තනි යනු, ෆේස්බුක් හරහා සිංහල කවි රචනයට පිවිසි තවත් කිවිඳියකි.

ඇය පැවසුවේ ඉක්මන් ප්‍රතිචාර ලැබීමත්, පාඨකයින් අතරට පහසුවෙන් ළඟා වීමත් යන කරුණු හේතුවෙන් ෆේස්බුක්හි කවි පළ කිරීමට පෙළඹුණු බවය.

"ෆේස්බුක් එකේ ගොඩක් කවි පළ වෙනවා. ඒ අතර උසස් කවි ටිකක් තියෙනවා. ගොඩක් කවිවල නිර්මාණශීලීත්වය ගැන ප්‍රශ්න තියෙනවා. කොච්චර කවි ලිව්වත් හොඳ කවි විතරයි රැඳෙන්නේ. හිතවතුන් ක්ෂණික ප්‍රතිචාර දැක්වුවත් සැබෑ රස වින්දනයක් ඇති අය දන්නවා හොඳ කවිය මොකක් ද කියලා තෝරා ගන්න." තුෂාරිකා ඇන්තනි පැවසීය.

"මගේ කවිවලටත් ගොඩක් ම ලැබෙන්නේ විවේචනාත්මක නොවන අදහස්. ඒත් මම කවිය ගැන අධ්‍යයනය කරනවා. මම හැම තිස්සේ ම හිතන්නේ මගේ කවි උසස් නෑ කියලයි. ඒ නිසා නිරන්තර අධ්‍යයනයක යෙදෙනවා."

ෆේස්බුක් හරහා කවි ලිවීම ආරම්භ කළ තුෂාරිකා "උතුරා යන්න ගඟ මම කැමති පොකුණට" යනුවෙන් කාව්‍ය සංග්‍රහයක් පළ කර තිබේ.

මේ අතර, සිංහල කවිය නිසි මගට යොමු කිරීමේ අදහසින් පළ කෙරෙන විවේචන ද ෆේස්බුක්හි පළ වෙමින් තිබෙනු දැකිය හැකිය.
"ෆේස්බුක් එකේ නිදහස් අවකාශයක් තියෙනවා. ඒ නිදහස් අවකාශය කවීන්ට විවර වෙන එක හොඳ දෙයක්. ඒත් ඒ නිදහස් අවකාශය අර්ථවත්ව පාවිච්චි කරනවා ද කියන එක නම් ප්‍රශ්නයක්," ප්‍රවීණ ගේය පද රචකයකු මෙන්ම කවියකු ද වන රත්න ශ්‍රී විජේසිංහ පැවසීය.
අත්දැකීම්වල සරල බව, අත්දැකීම්වල සීමාසහිත බව සහ ආකෘතියේ සරල බව ෆේස්බුක් කවිවල දැකිය හැකි පොදු ලක්ෂණ බව ඔහු ගේ අදහස ය.

"ෆේස්බුක් පාඨකයින්ගේ තියෙන ලොකු ම ප්‍රශ්නය තමයි විවේචන ශාස්ත්‍රීය නොවීම. ආචාරශීලීත්වය එහෙමත් නැත්නම් හිතවත්කම පෙන්වීම සඳහා දක්වන අදහස්වලින් අංකුර කවීන් නොමග යන්න පුළුවන්."

මේ වන විට උසස් සිංහල කවි රස විඳින ප්‍රබුද්ධ පාඨක පිරිසක් බිහි වී ඇතැයි රත්න ශ්‍රී විජේසිංහ පවසයි.

"මගේ පළමු කවි පොත මුද්‍රණය කරන්න තියා මම මුද්‍රණය කරපු පොත විකුණන්නවත් පොත් කඩවල් භාර ගත්තේ නැහැ. ඒත් දැන් සිංහල කවි පොත් අලෙවිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ම සිංහල කවිය වර්ධනීය අවස්ථාවකට පැමිණ තිබෙනවා. මගේ 'වස්සානය'(1985) කවි පොත මේ වෙනකොට මුද්‍රණ 10ක් නිකුත් කරලා තියෙනවා."

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෆේස්බුක් හේතුවෙන් සිංහල කවීන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට විශාල පිටිවහලක් ලැබෙන බවය. එම මාධ්‍යය සාර්ථකව සහ අර්ථාන්විතව භාවිත කළ යුතු බව ඔහු සඳහන් කළේය.

ෆේස්බුක් සමාජ ජාලය හරහා සිංහල කවියට වී ඇති බලපෑම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත සිය අදහස පළ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමුදු කරුණාරත්න, මුද්‍රිත මාධ්‍ය හරහා සාහිත්‍ය කෘති පළ කිරීමේදී යම් පෙරණයකට (filter) ලක් වන නමුත් ෆේස්බුක් හරහා පළ කෙරෙන නිර්මාණ එවැනි තෝරා ගැනීමකට ලක් නොවීම ගැටලුවක් වී ඇති බව ප්‍රකාශ කළාය.

"පුවත්පතක කවියක් පළ කිරීමේදී යම් තෝරා ගැනීමකට ලක්වෙනවා. ඒ වගේ ම පොතක් මුද්‍රණය කිරීමේදී බොහෝ විට විද්වතෙකු විසින් පෙරවදනක් ලියනු ලබන හෙයින් ඒ කවි අදාළ විද්වතාගේ අවධානයට ලක් වෙනවා. ඒත් ෆේස්බුක් එකේ තමන්ට ඕන වෙලාවක ඕන ම දෙයක් පළ කරන්න පුළුවන්. ඒක උසස් නිර්මාණ බිහි වීමට බාධකයක්,"

කෙසේ වෙතත්, ෆේස්බුක් හරහා ඉතා ම උසස් කවි පළ වන බවත්, ඇතැම් විශිෂ්ට කවි පිළිබඳව සාහිත්‍ය විචාර පවා ලියවෙන බවත් ඇය සඳහන් කළාය.

සමාජ මාධ්‍ය හරහා නිර්මාණ ප්‍රමාණාත්මකව විශාල සංඛ්‍යාවක් පළ වුව ද ඒවායෙහි ගුණාත්මකභාවය පිළිබඳව සතුටු විය නොහැකි බව ඇයගේ අදහසයි.

"කියවීමක් නැති සමාජයක හොඳ සාහිත්‍යධරයන් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා ෆේස්බුක් හරහා කියවන පිරිසක් බිහි වන එක නම් හොඳ දෙයක්. ඒත් නිර්මාණකරුවන් අර්ථවත් දේ පළ නොකළොත් කාලයක් ගත වන විට පාඨකයින්ගේ ප්‍රබුද්ධත්වය පිරිහී යා හැකියි. ඒක සමස්ත සිංහල සාහිත්‍යයට ම බලපානවා."

ඇය අවසන් වශයෙන් පැවසුවේ, මෙවන් අදහසකි.

"අපි තාක්ෂණය හරි ඉක්මනින් ග්‍රහණය කරලා තියෙනවා. හැබැයි ඒ තාක්ෂණය නිසි ආකාරයට පරිහරණය කරන්න අවශ්‍ය සංස්කෘතික පරිචය ලබලා නැහැ. මනසින් අපි ඉන්නේ ගොඩක් පසුපසින්. සංස්කෘතික සත්වයෙක් විදිහට අපි වැඩිලා නැහැ."

(ෆේස්බුක් භාවිත කරමින් සිංහල කවිය පෝෂණය කරන උසස් කවීන් තවත් රැසක් සිටින අතර මෙහි සඳහන් කර ඇත්තේ අහඹු ලෙස තෝරාගත් කිහිප දෙනෙකි)

උපුටා ගැනීම-BBC

 

මූලාශ්‍ර