Responsive image
English site
English site

දිනය: 04-03-2019 | වේලාව: ප.ව 01:41 | 118

ගොරකා කියන්නේ ඔබ නොදන්න ගුණ රැසක් තියෙන ඔෟෂධයක්

එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා ගත්තේ ගොරක අතුය. මේ නිසා අපේ ගම්වල මිනිසුන් ගොරක ගහ ළඟින් ගියේ මද බියකිනි. එහි යම් භූත බලවේගයක් ඇතැයි ඔවුන්ගේ විශ්වාසයක් පැවැතුණි. ගමේ කොල්ලො කුරුට්ටන්ට නම් ඉදී වැටුණ ගොරක ගෙඩියේ රත් පැහැති මදය රසවත් කෑමකී. කහ පැහැයෙන් සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී වැටුණු ගොරක ගෙඩි පලා අව්වේ වේළා ලුණු මිශ්‍ර කර ඇසුරූ කට බැඳි මුටිටිය එදා අහර රස කරමින් හා මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් වැඩසිටියේ ගමගෙදර ළිප මුල්ලේ ය. එහෙත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලය.වර්තමානයේ ගොරකා වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ආකාර එකිනෙකට වෙනස්ය පේස්ට් ගොරක තේ යනාදි වශයෙන් කුඩා බහලුම්වලය.

ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයෙන් යුතු සෙවණ සහිත සිරස් අතට නමා වැටෙන අතුපතරින් ගහණ ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනානතර වල දක්නට ලැබෙන ගසකි.

ගොරක ගසේ ආරම්භය ඉන්දියානු උප මහද්වීපයෙන් පටන්ගෙන මලයාසියාව බුරුමය සහ තායිලන්තය දෙසට පැතිර ගොස් ඇති බව සඳහන්ය. බහු වාර්ෂික වන ගොරක ගසේ ඵලදාව වසරකට දෙවරක් ලබාදෙයි. දිය නොරදන පොළොවෙහි වැඩීමට කැමැත්තක් දක්වයි. පෙබරිවාරි සිට අප්‍රේල් දක්වා සුදු මලින් සැරැසෙන ගොරක ගස දිලිසෙන පත්‍ර සහිත සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තය. ‍ෆ්ලොරිඩාව ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රෙලියාව වැනි රටවල ජනප්‍රිය පලතුරකි.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල ය. ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයි­ෙඩ්‍රාක්සිට්‍රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම ද සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්‍රා්රෝලක්සිසිට්‍රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි.

දේශිය ආයුර්වේදයෙහි ද ගොරක ගෙඩිය පමණක් නොව ගසේ පස් පංගුවම රෝග නිවාරණයට අවශ්‍ය බව සඳහන් වේ. විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ . ආහාර දිරවීමට මෙන්ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ. විදුරු මස් දියවීම බඩවැලේ ආබාධ, වණ සහ තුවාල යනාදිය සුවකිරීමට ගොරකා යුෂ ද කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ගොරකා කොළ පොතු සහ මල් ද යොදා ගැනේ.

නව විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ශරීරරයේ බර අඩුකිරිමට විෂ ඉවත් කිරිමට සහ තරුණකම රැකගැනීම යනාදියට ගොරකා ගුණාත්මක ඖෂධයකී. පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ගොරක උපයෝගි කරගන්නා බව ද කියැවේ. ගොරක කිරි සහ යෝගට් සඳහා ආරක්ෂක ද්‍රව්‍යයක් හැටියට ද යොදා ගැනේ.

මේ අතර විදෙස් රටවල් ගණනාවක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් ගොරකා කැප්සුල් ගොරක පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයන වෙළඳපොළ ජයගෙන ඇත. ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්යපම ප්‍රමාණයක් ව්‍යවසායකයන් ද දැනටමත් මේ වටිනා ගොරක ගෙඩි වියළි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙයට අමතරව ගොරකා පේස්ට් ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන් ද අපනයනය කෙරෙන අතර ඒවා ‍දේශීය වෙළෙඳ පොළෙහි ද දැකගත හැකිය.

අතීතයේ ගොරක යනු ගමේ සැඟවී තිබු ස්වාභාවික සම්පතකී. වර්තමානයේ ආහාරයක් ඖෂධයක් පමණක් නොව අපනයන භාණ්ඩයකී. රටට විදේශිය විනිමය ගෙන දෙයි.

පරිසරයටත් ඉහළින් යන මිනිසුන් සිටින රටක මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිය. එබැවින් සුරබි දෙනක් වැනි මේ ස්වභාවික සම්පත තවදුරටත් වැඩිවර්ධනය කර පෝෂණය කිරිම අපගේ යුතුකමකි. එය අපගේ අනාගත පරපුරට පිදෙන අමිලවු දායාදයකී.

(තොරතුරු සහ මුලාශ්‍රය අන්තර් ජාලය ඇසුරෙනි)

මූලාශ්‍ර