Responsive image
English site
English site

දිනය: 15-10-2018 | වේලාව: ප.ව 02:05 | 57

තංගල්ලේ හිටපු සභාපතිගේ අභියාචනය විභාග කරන්න දින තීන්දුයි

2011 වසරේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කළ යැයි චෝදනා ලබා වසර 20 ක් බැගින් සිරදඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 01  වන දා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.

මෙම අභියාචනා පෙත්සම් එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එම අභියාචනය සලකා බැලූ විනිසුරුවරුන් එය මාර්තු මස 01  වන දා විභාගයට ගන්නා බව නියම කළේය.

2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා රාත්‍රී තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය යතිකයෙකු මරා දමා ඔහුගේ පෙම්වතිය වන රුසියානු ජාතික තරුණියක් දූෂණය කළේ යැයි චෝදනා ලබා සිටි තංගල්ල  ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළේය.

එසේ කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බව පෙන්වාදෙන විත්තිකරුවන් තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය වෙත යොමුකර ඇති අභියාචනා වලින් ඉල්ලා තිබේ.

මේ අතර විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය මඟින් පනවා තිබෙන දඬුවම් ප්‍රමාණවත් නොමැති බවත් එය වැඩි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනයද  මාර්තු මස 01 වන දා සලකා බලන බව අධිකරණය නියම කළේය.
 

 

මූලාශ්‍ර