Responsive image
English site
English site

දිනය: 11-03-2019 | වේලාව: ප.ව 12:30 | 27

තිස් පස් වසරක් රැක්ක ලස්සන රහස


“ඔයා අද මට ඇත්තම කියන්න ඕන..” ජෝන් ඒ ටික කීවේ මේරි එලන්ගේ දෑස් දෙස එක එල්ලේ බලමිනි. ඔහුගේ හඩ වෙනදාට වඩා රළුය. “මොනවටද බැංකු එකවුන්ට් එකෙන් මේ තරම් සල්ලි ගත්තෙ..?”
බියපත් වූ නමුත් මේරි එලන් ඒ බවක් නොපෙන්වා සන්සුන්ව කතා කළාය.
“අහ්.. මම මට උවමනා කරන බඩු වගයක් ගන්න ඒ සල්ලි ගත්තෙ..”
“ඒ තරම් මොනවද උවමනා කරන බඩු..? ඇත්ත කියන්න.. මම දැන් කාලයක් තිස්සෙ මේක බලාගෙන හිටියෙ... ඔයා සෑහෙන කාලයක් තිස්සෙ සල්ලි අරගෙන තියෙනවා.. හැමදාමත් කාර් එකේ හැතැම්ම ගාණක් දුර ගිහින් තියනවා.. කාවද හම්බ වෙන්න ගියේ..? කාට දෙන්නද ඒ සල්ලි ගත්තෙ..?” ජෝන් නැවතත් ඇසුවේය. ඔහුගේ දෑස් වල තිබුණේ මේරි එලන් කිසිදා නොදුටු බැල්මකි.
“මං කියන්නම්.. ඒක රහසක්.. හැබැයි ඒක මගේ විතරක් රහසක් නෙවෙයි.. ඒ රහස අයිති අනිත් අයත් එක්කත් කතා කරන්න ඕන.. ඊට පස්සෙ කියන්නම්..” මේරි එලන් පොරොන්දු වූවාය.
ඉන්පසු ඇය දුරකථනය වෙත ගියාය. එක් ඇමතුමක් නොව දුරකථන ඇමතුම් අටක්ම ගත්තාය. ඒ හැම ඇමතුමකටම මේරි එලන් කීවේ එකම කතාවකි.
“ජෝන්ට මගේ ගැන සැකයි.. එයාට අපේ වැඩේ ගැන ඉව වැටිලා.. අපි දැන් මොකද කරන්නෙ..? අපි මේ රහස එළි කරමුද...?”
ඉන් දින කීපයකට පසුව මේරිගේ නිවසට අමුත්තන් දහසය දෙනෙකු පැමිණියහ. ඒ මේරිගේ යෙහෙළියන් අට දෙනා සහ ඔවුන්ගේ සැමියන්ය.
මේ යෙහෙළියන් නව දෙනා එකම වයසේ අය නොවේ. එකම පවුලක උපන් අයත් නොවේ. එහෙත් ඔවුන් කුඩා කල පටන් එක වහලක් යට එකට හැදුණු වැඩුණු අය වූහ. එක කුස උපන් සොයුරියන් තරමටම ඔවුන් එකිනෙකාට සමීපය. ඔවුහු නිතර මුණ ගැසෙති. තේ සාද පවත්වති. ඔවුන්ගේ සැමියන්ට එය අමුත්තක් නොවේ. එහෙත් අද මෙය අමුතුය. ඔවුන් මේ හමුවන තැනට තමන්ටද එන්නට කීවේ ඇයි දැයි ඒ සැමියන්ට ප්‍රශ්නයකි.
“අපි අද ඔයගොල්ලන්ට රහසක් එළි කරන්නයි යන්නෙ.. අවුරුදු තිස් පහක් තිස්සෙ ඔයාලට නොකියා අපි රැකගත්ත රහසක්..” මේරි එලන් කතාව පටන් ගත්තාය. “මේක තමයි ජෝන් මං ඔයාට කියනවා කිව්ව රහස.. මේ රහස අපි නව දෙනාටම අයිතියි. ඒ නිසයි අද නව දෙනාම මෙතනට එකතු වෙලා ඔයාලාවත් එකතු කරගත්තෙ..
ඒක පටන් ගත්තෙ අද වගේම දවසක.. අපි නව දෙනාම හැන්දෑවේ තේ පැන් සාදයකට එකතු වෙච්ච දවසක..”
මේ යෙහෙළියන් නව දෙනාගේ ස්වාමි පුරුෂයන් කුතුහලයෙන් අසා උන්හ.
“එදා තේ බීලා අපි කතා කර කර හිටියේ අපේ පුංචි කාලෙ ගැන.. ඒ දවස් වල අපේ මමායි පපායි කරපු දේවල් ගැන.. ඔයාලා දන්නවනෙ.. අපි අනාථ ළමයි.. අපි හැමෝමව හදාගත්තෙ ඒ ආච්චියි සීයයි දෙන්නනෙ..” යෙහෙළියන් නව දෙනාගෙන් එක් අයෙකු වූ පර්ල්ද කතාවට හවුල් වූවාය.
“මමා රූත්ගෙ එක පුරුද්දක් තිබුණා.. එයා හැමදාම ප්‍රාදේශීය පත්තරේ බලනවා.. කාගෙ හරි මළගෙදරක් වෙලා තිබුණාම.. එයා දන්නවා ඒ පවුලේ අය කණගාටුවෙන් ඉන්නේ කියලා.. ඉතින් එයා ඒ අයට කෑම බීම හදලා යවනවා. විශේෂ කේක් එකකුත් එක්ක.. අදුනන අය නාදුනන අය කියලා වෙනසක් නෑ.. මමා රූත් උත්සාහ කළේ කාගෙ හරි හිතකට පුංචිම හරි සතුටක් ගේන්න විතරයි.. කාගෙ හරි මූණකට හිනාවක් ගේන්න.. ඉතින් එදා අපි ඒ ගැන කතා වුණා..”
යෙහෙළියන් නව දෙනා මාරුවෙන් මාරුවට මතකය අවදි කරන්නට වූහ.
“ඉතින් අපිටත් ඕන වුණා එහෙම දෙයක් කරන්න.. කාගෙ හරි මූණකට හිනාවක් ගේන්න.. අපිට පුළුවන් තරමින් වැඩක් කරන්න.. ඒත් අපිට කෝ සල්ලි.. අපි කවුරුවත් රස්සාවල් කරන්නෙ නෑනෙ.. ඉතින් අපි එකතු වෙලා හිතුවා.. අපිට මොනවද කරන්න පුළුවන් කියලා. කවද හරි අපිට ඩොලර් මිලියනයක් තිබ්බොත් අපිට කොයි තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා.”
“අපෙන් වැඩි දෙනෙකුගෙ යෝජනාව වුණේ අපි එදිනෙදා වියදම් වලින් කපා හැරලා සල්ලි ඉතුරු කරගමු කියලා.. අන්තිමේදි අපි තීරණය කරගත්තා ලොන්ඩරියට යන වියදම ඉතිරි කරගන්න.. ඇදුම් ලොන්ඩරියට නොදී අපිම ඒවා සෝදලා මැදගන්න..” මේරි එලන් කීවාය.
“හරි පුදුමයිනෙ.. අපිට කවදාවත් එහෙම වෙනසක් තේරුණේ නෑනේ..” ජෝන් විස්මයෙන් කීවේය.
“ඔව්.. ඔයාලා රස්සාවල් වලට ගියාට පස්සේ අපි ටිකක් වැඩියෙන් මහන්සි වෙලා වැඩ කලා. ඔයාලාගේ ඇදුම් ලොන්ඩරියට දීලා සෝද ගන්නවා වෙනුවට අපිම මහන්සි වෙලා ඒවා හෝදලා මැදලා ඔයාලාගේ අල්මාරි වල අහුරලා තිබ්බා. කිසිම වෙනසක් නොදැනෙන විදිහට. ගෙදරට බඩු ගේන්න කඩපිලට ගියාම කුලී වාහනේක එන්නෙ නැතිව පයින්ම ඇවිත් ඒ සල්ලිත් ඉතිරි කළා.. ඉතින් අපිට මුලින්ම ඩොලර් හාරසීයක් එකතු කරගන්න පුළුවන් වුණා..” මේරි එලන් කීවාය.
“ඉතින් අපි ගාව සල්ලි ටිකකුත් තියෙනවනේ.. ඊට පස්සෙ අපි ඕපදූප හොයන්න පටන් ගත්තා.. කඩ පිලට ගියාම, රූපලාවන්‍යාගාරෙට ගියාම.. පල්ලියෙදි අපි අනිත් අයගෙ කතා වලට ඇහුම් කන් දුන්නා.. උදව් උවමනා වෙලා ඉන්න අසරණයො ගැන කතා අපිට අහන්න ලැබුණා.. එක සැරයක්.. පුංචි දරුවො තුන්දෙනෙක් එක්ක තනිවෙච්ච වැන්දඹු අම්මා කෙනෙක් ගැන.. ඉතින් අපි ඒ දරුවන්ට අළුත් ඇදුම් ගත්තා. ඒ ගෙදරට ඕන කරන කෑම බීම මල්ලකුත් හදාගත්තා. අපේ මමා රූත් හැදුවා වගේ විශේෂ කේක් ගෙඩියකුත් හැදුවා.. මේ බඩු ටික ලස්සනට පාර්සල් කරලා ඒකටම ලියුමකුත් එකතු කළා.. “ඔයාලාට ආදරය කරන කෙනෙකුගෙන්..” කියලා.. ඊට පස්සෙ අපි ඒ අම්මාගෙ ලිපිනය හොයාගෙන ඒ බඩු ටික තැපැල් කළා..”
“ඒ වගේ අසරණ වුණ ගොඩක් අයට අපි උදව් කරන්න පටන් ගත්තා. හැන්දෑවට ඔයාලා ගෙදර ආපුවාම ඔයාලාගේ කාර් අරගෙන අපි “ටිකක් ඇවිදින්න” ගියා. විදුලි එළියක් නැතිව අන්ධකාරෙ තියෙන ගෙවල් ලග නැවතුණා.. ඔව්.. බිල් ගෙවාගන්න බැරිව විදුලිය විසන්ධි කරපු ගෙවල්.. අපි ඒවායේ බිල් ගෙව්වා. අපේ විශේෂ කේක් එකකුත් ඒ ගෙවල් වලට තැපැල් කළා.. හැම සතියකම අපි කාට හරි උදව් කළා.. කේක් සිය ගාණක් නාදුනන අසරණ අයගේ ගෙවල් වලට යැව්වා.. ඒ හැම දවසකම අපි අවදි වුණේ පාන්දර හතරටත් කලින්.. පාන්දර හතර වෙනකොට අපි අපේ රහසිගත තැනකට එකතු වුණා. එතන ඉදන් අපි එක හුස්මට වැඩ කලා.. කේක් හැදුවා. කෑම බීම හැදුවා.. උදේට ඔයාලා අවදි වෙනකොට අපි අපේ වැඩ ඉවර කරලා, තෑගි පාර්සල් කරලා තැපැල් කරලත් ඉවරයි..
මේ අවුරුදු තිස් පහටම අපි නව දෙනා ඇරෙන්න මේ ගැන යාන්තමින් හරි දෙයක් දැනගෙන හිටියා නම් ඒ අපේ තෑගි පාර්සල් අරගෙන ගිය තැපැල් පියුන් විතරයි.. ඒත් එයා කවදාවත් අපෙන් ඇහුවේ නෑ මේ පාර්සල් වල තියෙන්නෙ මොනවද කියලා.. මේවා යවන්නෙ කාටද, මොකටද කියලත් එයා දැනගෙන හිටියෙ නෑ.. කවුරුවත් නොදන්න අපේ මේ එකමුතුවට නමකුත් අපිම දාගෙන තිබුණා. The 9 Nanas කියලා..
ඉතින් මේක තමයි ඒ රහස.. අපි අවුරුදු තිස් පහක් තිස්සේ ඔයාලගෙන් වසන් කරපු රහස..” යෙහෙලියන් නව දෙනා කතාව හමාර කළහ.
“අවුරුදු තිස් පහක්..?” ජෝන් ඇසුවේය. “හරි පුදුමයිනෙ.. එච්චර කාලයක්..”
“අපරාදෙ අවුරුදු තිස් පහක්..” තවකෙකු කීවේය. “කලින් මේ ගැන කිව්වා නං අපිටත් තිබුණනෙ මේකට එකතු වෙන්න..”
“ඉතින් දැන් වුණත් බැරි නෑ.. ඔන්න අද ඉදන් අපිත් මේ වැඩේ කොටස් කාරයෝ වෙනවා.. “ ඒ කතාවට සොයුරියන් නව දෙනාගේ ස්වාමි වරුන්ගෙන් එකම අයෙකුවත් විරුද්ධත්වයක් පෑවේ නැත. එතැන් පටන් ඔවුන් දහ අට දෙනාම “කාගේ හෝ මුහුණට සිනාවක් ගේන” ව්‍යාපෘතියේ කොටස් කරුවන් බවට පත් වූහ.
තවත් ටික කාලයක් යද්දී මේ රහස තමන්ගේ දරුවන්ටත් කිියන්නට ඔවුුහු තීරණය කළහ. ඒ වන විට තරුණ වියේ උන් ඔවුන්ගේ දරුවන් මේ කාර්යයේ බර සතුටින් තමන් අතට ගත්හ.
The 9 Nanas අන්තර්ජාලයට ආවේ ඒ දරුවන් අතිනි. ඔවුන් එය නම් කලේ “Happiness Happens Month” නමිනි. මේ වන විට The 9 Nanas පෙරට වඩා විශාල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරයි. දුප්පත් පාසැල් දරුවන්ට පොත් පත්, සීත කාලයට දුප්පතුන්ට සීත ඇදුම් ලබා දීම්, ජල විදුලි සැපයුම් අත්හිටවූ දුප්පතුන්ගේ බිල් ගෙවීම් අදටත් ඔවුන් කරන්නේ කිසිදු නමක් ගමක් සදහන් නොකරමය.
“ඩොලර් මිලියනයක් තිබුණා නම්” යැයි එදා සිතූ යෙහෙළියන් නව දෙනා අද වන විට ඩොලර් 900,000 කට වැඩි මුදලක් දුප්පත් මිනිසුන්ගේ මුවට සිනහවක් ගෙනෙන්නට වැය කර ඇත.
“අපට ලෝකය එහෙම පිටින්ම වෙනස් කරන්න බෑ.. ඒත් කාගෙ හරි ජීවිතයක් එක පුංචි මොහොතකට සතුටින් පුරවන්න පුළුවන්..” යෙහෙළිියන් නව දෙනා ඔවුන් හදා වඩා ගත් මමා රූත් කී දෙය අදටත් කියති.

නිම්මි මුදිතා හේරත්

මූලාශ්‍ර