Responsive image
English site
English site

දිනය: 07-11-2018 | වේලාව: ප.ව 03:26 | 31

දේශප්‍රේමියෙක් නම් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි

රට තුළ ඇතිව තිබෙන තත්ත්වය විසඳිය හැකි සාධාරණම විසඳුම වන්නේ නැවත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අද(07) අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

අද වන විට දේශපාලනයේ අඳුරුතම යුගයට පැමිණ තිබෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමෙන් නව ආණ්ඩුවක් නීති විරෝධි ලෙස පත් වීම මුළු මහත් රටම පිළි නොගන්නා බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

විශේෂයෙන්ම මෙම නීති විරෝධි ක්‍රියාවලිය තුළ මුළු මහත් මාතෘ භූමියම අනතුරට ලක් ව ඇති බවත්, රටක රජයකට ඇති පිළිගැනීම ජාත්‍යන්තරය තුළ අහිමි වීමේ තත්ත්වයට ශ්‍රී ලංකාව ද මුහුණ පා සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ රටට විශාල අනතුරක් වී ඇති බවත්, විදෙස් සංචාරකයන්ට ලංකාව තහනම් ප්‍රදේශයක් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.

බහුතරය පිළිබඳ නිවැරදි හෙළිදරව්වක් කිරීමට පාර්ලිමේන්තුව රැස් කළ යුතු බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා නොවැම්බර් මස 14 වන දින වෙන තෙක් බලා නොසිට ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා රට වෙනුවෙන් කල හැකි වටිනාම දෙය කරන ලෙස ද ඉල්ලා සිටියි.

තමා විසින් සිදු කළ සෑම මෙහෙවරක්ම අගමැති හා ජනපති නාමයෙන් සිදු කල බවත්, ඒ තුළින් රජයේ තිබු එකමුතුභාවය රටට පිළිහිඹු කළ බව ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළ කොතැන ආසනය පැන වුවත් “කොයි පැත්තේ ද “ යන පැනය අසන බවත්, කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා තමන් ඉන්නා ස්ථාවරය මිසක් ආසනයේ වැදගත්කම අදාළ නොවන බවද පැවසීය.

 

මූලාශ්‍ර