Responsive image
English site
English site

දිනය: 01-11-2018 | වේලාව: පෙ.ව 11:17 | 51

ප්‍රසන්නගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(01) නියම කළේය.

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩ කර එහි රැඳී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට මේ මස පස්වන දා සිට 11  වනදා දක්වා කාලසීමාව තුළ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා චීනයට යාමට අවශ්‍ය ඇති බවයි.

ඒ සඳහා දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුට අදාළ කාල සීමාව සඳහා විදේශගත වීමට අවසර ලබාදුන් අතර නඩු විභාගය ජනවාරි මස 17  වනදා පැවැත්වීමට තීන්දු කළේය. 
 
විත්තිකාර ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරුබිම්ක් ගොඩකර එහි පදිංචි අනවසර පුද්ගලයින් ඉවත්කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළ  බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට  එරෙහිව නඩු පවරා තිබේ.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන නරෙෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද මහාධිකරණය තීරණය කර තිබේ.

 

මූලාශ්‍ර