Responsive image
English site
English site

දිනය: 30-10-2018 | වේලාව: පෙ.ව 09:08 | 56

පාර්ලිමේන්තුව කැඳවන්න යුරෝපා සංගමය ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ හදිසියේ ඇති වී ඇති දේශපාලන අස්ථාවරත්වය හා නොසන්සුන්තාවය හේතුවෙන් රට අවදානමකට ලක්ව ඇති බව යුරෝපා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම පාර්ලිමේන්තුව කැදවීමට පියවර ගත යුතු බවයි.

යුරෝපා සංගමයේ තානාපතිවරයා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ඊයේ(29) දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති බව එම නිවේදනයේ සඳහන්ය.

රටේ ව්‍යවස්ථාවට ගරු කරන විසදුමක් කඩිනමින් සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එහිදි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකික ජනතාවගේ පූර්ණ යහපත උදෙසා සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයාම සඳහා සිය සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව ද යුරෝපා සංගමය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් නොවන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසා තිබේ.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බවත් එය විසදා ගැනීමට දේශපාලන පක්ෂවලට සහ එරට ජනතාවට බුද්ධිය තිබෙන බවත් ලූ කන්ග් එහිදි පවසා ඇති බව වාර්තා වෙයි.

මේ අතර රටතුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවිමේ අවදානමක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි පවසයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුජ්‍ය දඹර අමිල හිමි මෙම අදහස් පළ කළේය.

 

මූලාශ්‍ර