Responsive image
English site
English site

දිනය: 31-03-2019 | වේලාව: පෙ.ව 08:07 | 88

පොරොන්දුව

ඔවුන් දෙදෙනා ෆිීනික්ස් බලා යන්නට පිටත් වුණේ රාත්‍රියේය.. අලුත විවාපත් කිම් හා ක්‍රිකිිට් මධුුසමය නිම වී තම දෙමාපිියන්ටත් විවාහ මංගල්ලයට උදව් කළ අයටත් ස්තූති කිරීීමේ සාදයක් සුදානම් කොට තිබින.. ඔවුන් ෆීනික්ස් බලා එන්නේ ඒ් සාදය වෙනුවෙනි.. ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ කිම්ගේ සහායක පුහුණුකරු, මිලාන් රාසික්ද ඔවුන් සමග මේ ගමනට එක් වූයේය.
රෑ තිිස්සේ වාහනය පැදවූ කිම්ට හොදටෝම මහන්සිය, නිදිමතය.
“ඔයා ටිකක් නිදාගන්න. මං ටික දුරක් වාහනේ ගෙනියන්නම්..” ක්‍රිකිට් ඉදිරිපත් වූවාය.
ක්‍රිකිට්ට සුක්කානම භාර දුන් කිම්, වාහනයේ පසුපස අසුනට ගොස් නින්දට වන්නේය. ඔහු හදිසියේම තිගැස්සී අවදි වූයේ එක විටම ඇසුණු ක්‍රකිට් කෑ ගසන හඩින් හා මිලාන් “බලාගෙන..!” කියා කෑ ගසන හඩින්ය.
ඒ සමගම ඔහුට වාහනයේ ඉදිරි වීදුරුවෙන් පෙනුණේ ඔවුන් ඉදිරියෙන් ගමන් කරමින් තිබුණු ට්‍රක් රථය දුමාරයකට මැදිවී ඇති අයුරුය. වහා වාහනයේ තිරිංග තද කළ ක්‍රිකිට් වාහනය වම් පසට හරවා ගන්නට උත්සාහ කළාය. ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. තිරිංග වලට කීකරු නොවුණු රථය ඇදී ගොස් ඉදිරියේ තිබුණු ට්‍රක් රථයේ වැදී කැරකිණ. පසුපසින් ආ කැබ් රිය වේගයෙන් මේ රථයේ වැදිණ. ඒ රියදුරු අසුන තිබූ පැත්තේය.
කැබ් රියේ හැපුණු ඔවුන්ගේ පුංචි මෝටර් රථය අඩි සියයක් පමණ ඈතට විසිවී ගොස් උඩු යටිකුරු වී නැවතුණි.
කිම් අසීරුවෙන් රිංගා පිටතට පැමිණියේය. ඔහුගේ දෙපා සොලවන්නටවත් බැරි ගාණය. කොදු නාරටිය දිගේ ඉහලට ඇදෙනා වේදනාව දරාගන්නට බැරි තරම්ය.
එහෙත් මොහොතකට ඔහුට ඒ කිසිවක් දැනුණේ නැත. ඔහුට මතක් වූයේ එකම එක දෙයක් පමණකි. ක්‍රිකිට්..!
“ක්‍රිකිට්..!” ඔහු මහ හඩින් කෑ ගැසුවේය. ඇගෙන් පිළිතුරක් නැත.
පොඩි පට්ටම් වී ගිය යකඩ ගොඩ මැද්දේ ඇය සිහිසුන්ව සිරවී උන්නාය.
එතැනට රැස්වුණු මිනිසුන්ට ඇයව ඒ යකඩ ගොඩ මැද්දෙන් එළියට ඇදගන්නට පැය බාගයකට වඩා ගත විය. පළමු ගිලන් රථයෙන් ඇයව ගැලප්හි පිහිටි රෙහෝබෝත් මැකින්ලි රෝහලට ගෙන යනු ලැබිණි. එතරම් බරපතල තත්වයකින් නොසිටි කිම්වත් මිලාන්වත් රෝහලට ගෙන ගියේ ඉන් පසුව පැමිණි ගිලන්රථයෙනි.
------------
ඔවුන් මුණ ගැසුනේ දුරකථනයෙනි.
ව් මෙක්සිකෝ හයිලන්ඩ්ස් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන බේස්බෝල් පුහුණුකරු වූ කිම් කාපෙන්ටර්ට නිතරම ක්‍රීීඩා උපකරණ හා ක්‍රීඩා ඇදුම් පැලදුම් ව්‍යාපාරිකයන් හා ගණුදෙනු කරන්නට සිිදු විය. ඔහුට ක්‍රිකිට් පපාස් මුණ ගැසුණේද එවන් ගනුදෙනුවකට දුුරකථනයෙන් සමාගමකට කතා කළ විටකදීය. ක්‍රිිකිට් එ් ආයතනයේ සේවය කල වෙළද සහායිකාවකි.
ව්‍යාපාරික අවශ්‍යතාවයකට ගත් ඇමතුම අවසනදී දෙදෙනා හිතවත් වී තිබිණ.
“ඇත්තටම ඔයාගෙ නම ක්‍රිකිට්ද..?” කිම් විහිළු කළේය.
“නෑ.. මගේ ඇැත්තම නම ක්‍රිස්-ඈන්.. ග්‍රීක නමක්. ඒත් මං කොයි වෙලාවකවත් එක විදිහකට ඉන්නෙම නැති නිසා මගේ නැන්දා කෙනෙක් මට මේ නම දැම්මෙ.. අන්තිමේදීි හැමෝම ඒකම කියන්න ගත්තා..” ක්‍රිකිට්ද සිනාසුණාය.
ඉතින් ඊට පසුු එළඹුණු මාස දෙක තුනේදී ක්‍රීඩා ඇදුම් ගැන කිම්ගේ උනන්දුව දවසින් දවස වර්ධනය විය. නිතරම ක්‍රිකිට් උන් ක්‍රීඩා ඇදුම් නිශ්පාදන ආයතනයට කතා කළේය.
ඔවුන්ගේ දුරකථන ඇමතුම් වල කාලසීමාවන් එන්න එන්නම දීර්ඝ විය. අන්තිමේදී ව්‍යාපාරික මට්ටමෙන් එපිටට ගොස් ඒ ඇමතුම් පෞද්ගලික ඒවා බවට පත් විය.
“ජීවිත කාලෙටම ඔයා මගේ ලගින් ඉන්න කැමතිද..?” තවත් සති කිහිපයකට පසුව කිම් ක්‍රිකිට්ගෙන් ඇසුවේය.
“ඔව්..” ක්‍රිකිට් කීවාය.. “මුලු ජීවිත කාලෙටම..”
ඔවුන් දෙදෙනාගේ විවාහ තීන්දු විය. දෙදෙනාම හොද ක්‍රිස්තු භක්තියන් වූහ. විවාහය යනු ජීවිත කාලයම රැකිය යුතු පොරොන්දුවක් යැයි ඔවුන් දෙදෙනාම තදින් විශ්වාස කළහ. 1993 සැප්තැම්බර් මාසයේදී ඔවුහු ඒ පොරොන්දුවට බැදුණහ.
ඔවුන් නොසිතූ පරිදි හදිසි අනතුරට ලක් වූයේ එයින් සති කිහිපයකට පසුවය.
ක්‍රිකිට්ගේ මොළයට අනතුරෙන් දැඩි ලෙස හානි වී ඇති බව වෛද්‍යවරු කිම්ට දැන්වූහ. ඇය දැන් ඉන්නේ කොමා තත්වයකය. ඇය බාහිර ලෝකයට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. සමහර විට ඇය මිය යන්නටත් ඉඩ ඇත.
දැඩි සත්කාර ඒකකයේ වීදුරු කවුළුව අසල සිටගෙන කිම් පැය ගණන් ඇය දෙස බලා උන්නේය. ඇගේ දසුන දකින හැම විිටම ඇයට වඩා වේදනා වින්දේ ඔහුය.
ක්‍රිකිට් ජීවිතය අත්හැරියේ නැත. දෙසැම්බර් මාසයේ පළමු සතිය වන විට ඇයට යන්ත්‍ර වල ආධාරය නොමැතිව හුස්ම ගන්නට හැකි විය. එනිසා ඇයව ෆිනික්ස් හි බැරෝව් ස්නායු රෝහල වෙත ගෙන යනු ලැබිණ. ඇයට සුවය ලබන්නට හොදම තැන එතැනය.
කෙමෙන් කෙමෙන් ක්‍රිකිට් කොමා තත්වයෙන් පියවි තත්වයට ආවාය. තවත් සති කිහිපයකට පසුව ඇය කතා කරන්නට තරම් සුවය ලබා උන්නාය. කොමා තත්වයෙන් මිදුණු ඇගේ මතකය පිරික්සන්නට මනෝචිකිත්සක වරයා ඇගෙන් ප්‍රශ්න අසන්නට වීය.
“ඉර පායන්නෙ මොන පැත්තෙන්ද..?” මනෝ චිකිත්සක වරයා ඇසුවේය.
උත්තර දෙන්න ක්‍රිකිට්.. අනේ උත්තර දෙන්න.. කිම් නිහඩවම සිතින් යැද්දේය. ඇය කතා කරන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා උන්නේය. වික්ෂිප්තව වටපිට බැලූ ඇය හෙමින් කටහඩ අවදි කළාය.
“උතුරෙන්..” ඇය උත්තර දුන්නාය.
“කවුද රටේ ජනාධිපති..?”
“නික්සන්.”
“ඔයා පදිංචි කොහේද..?”
“ෆිීනික්ස් වල..”
ෆීනික්ස් විවාහයට පෙර ඇය පදිංචිව උන් නගරයයි. එහෙත් අඩු තරමේ ඇය ඒ ගැන කියන්නට තරම්වත් සුව වී හිදීම ගැන කිම් සතුටු වූයේය. ‘අපිට ඉක්මනටම ගෙදර යන්න පුලුවන් ක්‍රිකිට්.. ඔයාට දැන් හොදයි..” ඔහු සිතින් තම ආදරණීය බිරිද සමගින් කතා කළේය.
“ඔයා කසාද බැදලා ඉන්නෙ කාවද..?”
ක්‍රිකිට්ගේ නිිල් ඇස් කාමරය සිිසාරා වරක් කරකැවිණ.
“මම..? මම තාම කසාද බැදලා නෑ..!”
කිම්ගේ හදවත කිිදා බැස්සේය. කම්පනයට පත් වූ සිතින් යුතුව රෝහල් කාමරයෙන් පිටතට පැමිණි කිම්, රෝහල් කොරිඩෝවට වී වැලපුණේය.
ක්‍රිිකිට්ට ඔහුව මතක නැත.!
තමන්ගේ ආදරණීය බිරිිදට තමන්ව මතක නැත. “දෙවියනේ අපි දෙන්නට උදව් කරන්න..!” කිම් වැලපෙමින් දෙවියන් යැද්දේය.
අනතුරෙන් ඇගේ මතකයෙන් කොටසක් නැතිවී ගොස් තිබිණ. නැතිවී ඇත්තේ අනතුරට පෙර වසරක මතකයයි. කිම්ගේත් ක්‍රිකිට්ගේත් ආදරයේත්, විවාහයේත්, මධුසමයේත් මතකයන් රැදී ඇත්තේ ඒ වසර තුළය. ඒ වසර ඇයට එහෙම පිටින්ම අමතකය.!
ඊලග මාසය තුළදීම ක්‍රිකිට්ගේ දෙමාපියන් හා මිතුරු මිතුරියන් ඇයට ඒ ගැන මතක් කර දෙන්නට වෑයම් කළහ.
“ඔයා කසාද බැන්දා ක්‍රිකිට්.. හොදට මතක් කරන්න.. ඔයා කාවද බැන්දේ කියලා..”
එවන් විටෙක ඇය ඇයට මතක ඇති නම් පවසයි. වරෙක ඇගේ වෛද්‍යවරයාගේ නමය. තවත් වරෙක ඇය කියන්නේ ඇගේ පැරණි මිතුරෙකුගේ නමය. විටෙක ඇගේ ගුරුවරයෙකුගේ නමය. එහෙත් ඒ නම් අතර කිම්ගේ නම නම් නොවීය.
ඔවුහු ඇයට ඇගේ මංගල ඡායාරූපයද පෙන්වූහ.
“මේ ඉන්න ගෑනු ළමයා ඔයා. මේ ඉන්නේ කිමර්.. කිම්..”
එහෙත් ඇය එයට කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
ක්‍රිකිට් දිගින් දිගටම ප්‍රතිකාර ගත්තාය. ඇගේ මතකය ටිකෙන් ටික අලුත් විය. ඇගේ ළමා විය, නව යොවුන් විය ටිකෙන් ටික නැවත මතකයට නැගිණ. එහෙත් කිම් තවමත් ඇයට ආගන්තුකය. දවස ගානේ තමන්ට කවන පොවන, තමාගේ ඇද අසල නිදි වරන ඔහු කවුදැයි ඇයට මතක නැත.
විටෙක ඇයට ඔහු සමග තරහත් යයි. “ඔයා මොකද මෙතන කරන්නෙ..? ඔයා ඇයි ආපහු ලස් වේගාස් වලට යන්නෙ නැත්තෙ..?” ඇය අසයි.
“මං ඔයාට ආදරේ හින්දා..”
1994 අවුරුද්දේ පෙබරවාරි මාසයේදී ක්‍රිකිට්ට රෝහලෙන් ගෙදර යන්නට ලැබිණ. එහෙත් බාහිර රෝගියෙකු ලෙස ප්‍රතිකාර නම් දිගටම කළ යුතු විය. කිම්ද ඇයට සාත්තු සප්පායම් කරමින් තවමත් ඇය අවටමය.
ඔහු නිරන්තරවම දෙවියන් යැද්දේය. “අනේ දෙවියනේ.. ක්‍රිකිට්ට මාව මතක් කරවලා දෙන්න.. මට ආයෙමත් මගේ ක්‍රිකිට්ව ගෙනත් දෙන්න..”
මතකය යලි නාවත් ක්‍රිකිට්ට නැවතත් තම සැමියාගේ නිවසට පදිංචියට යන්නට සිදු විය. ඒ නිවසේ හැම තැනකම ඔවුන්ගේ මතකයන්ය. එහෙත් ක්‍රිකිට්ට ඒවා දැනුණේ නැත. ඇය දැන් හිතුවක්කාර දරුවෙකු මෙනි. අනතුරට කළින් උන් ඉවසිලිමත්, ආදරණීය, බුද්ධිමත් තරුණිය දැන් නැත.
“මට තවත් මේ විදිහට ජීවත් වෙන්න බෑ.. මොනවම හරි වෙනසක් වෙන්නම ඕන..” කිම් තමන්ටම කියා ගත්තේය. එහෙත් මොනවා කරන්නද.? ඔහුට ඇය හැර යන්නට නොහැකිය. විවාහය යනු ජීවිත කාලයටම වන එකම එක පොරොන්දුවකි. එය ඔහු දැඩිව විශ්වාස කළේය. දෙවියන් ඒ ගැන තීරණය කර ඇත්තේ ඔවුන් මුණ ගැසෙන්නටත් බොහෝ කලකට කලින්ය.
ඒ වන විට 1995 වසරත් එළඹී තිබිණ. තව දුරටත් පීඩනය දරා ගන්නට නොහැකි තැන කිම්ද මනෝචිකිත්සක වරයෙකු හමුවෙන්නට ගියේය. මනෝ චිකිත්සක වරයා නැගූ එක ප්‍රශ්නයක් ඔහුගේ ජීවිතය යලි වෙනස් කළේය.
“ක්‍රිකිට් ඔයාට ආදරය කළේ ඇයි..?”
“කඩවසම් නිසා.. විනෝදෙන් හිටපු නිසා..දක්ෂ නිසා..” එක් වරම ඒ කාරණය ඔහුගේ හිතේ විදුලියක් මෙන් ඇදී ගියේය.
රිය අනතුර වූ දා පටන් ඒ විනෝදමත් කඩවසම් තරුණයා අතුරුදහන් වී තිබිණ. ඒ වෙනුවට උන්නේ වගකීමෙන් හා ශෝකයෙන් හෙම්බත් වූ වැඩිහිටියෙකි.
ඉතින් දැන් මුල පටන්ම ඇයව දිනා ගන්නට පටන් ගත යුතුය.
කිම් යලිත් තමාම වෙන්නට උත්සාහ ගත්තේය. ක්‍රිකිට්වද සතුටින් තබමින් තමාද සතුටින් ඉන්නට උත්සාහ කලේය. ඇයව ඇවිදින්නට එක්කරගෙන ගියේය. රෑ කෑම කන්නට අවන්හල් වලට කැදවාගෙන ගියේය. පෙර මෙන්්ම ඇය සමග සෙල්ලම් කළේය.
ක්‍රිකිට්ගේ මතකය යලි ආවේ නැත. ඒ වෙනුවට මේ අපූරු තරුණයා ගැන ආදරයක් නම් ඇගේ සිතේ ඉපදෙන්නට පටන් ගෙන තිබිණ.
1996 වැලන්ටයින් දිනයේදී කිම් යලිත් වතාවක් ඇයට විවාහ යෝජනා කළේය. 1996 මැයි 25 වන දින ඔවුහු නැවතත් විවාහ වූහ.
“දුකේදීත් සැපේදීත්, ජීවිතයේදීත් මරණයේදීත් එකට සිටින්නට” අල්තාරය ඉදිරියේ පොරොන්දු වූහ.
කිම් ඒ පොරොන්දුව සදහටම රකින බව ක්‍රිකිට් මේ වතාවේ අත්දැකීමෙන්ම දැන උන්නාය.

නිම්මි මුදිතා හේරත්.

මූලාශ්‍ර