Responsive image
English site
English site

දිනය: 19-03-2019 | වේලාව: පෙ.ව 11:06 | 99

යකුෂි මුතු මාලය සමඟ නිල්මිණි සිගේරා දිවයිනට

ජපානයේ ඔසාකා ආසියානු 14 වන සිනමා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , එහි තරගකාරී අංශයට ඉදිරිපත් වූ "අසන්ධිමිත්තා" චිත්‍රපටයේ රඟ පෑ නිල්මිණි සිගේරා මහත්මිය , එම සිනමා උළෙලේ හොදම රංගනය ( Brilliant Performance ) වෙනුවෙන් පිදෙන "යකුෂි මුතු " සම්මානය දිනා ගනිමින් අද (19) අලුයම යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

 ආසියානු රටවල් 14 ක සහභාගීත්වයෙන් පසුගිය 03වනදා සිට 17වනදා දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණි.

රාත්තල් 300 ක් බර තරබාරු කාන්තාවක් වීම නිසා ඇය සමාජීය වශයෙන්  සහ පවුල් කුටුම්භය තුළ පීඩනයට පත් වන ආකාරය සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත " අසන්ධිමිත්තා " නව කථාව ඇසුරෙන් අශෝක හඳගම මහතා මෙම චිත්‍රපටය නිර්මානය කර ඇත.

ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතු වලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණි.

මෙම ජයග්‍රහණය රැගෙන නිල්මිණි සිගේරා මහත්මිය අද අලුයම 12.10 ට හොංකොං සිට පැමිණි කැතේ පැසිෆික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඇය පිළිගැනීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය , මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හදගම මහතා ඇතුළු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළු නිළියන් විශාල පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

නිල්මිණි සිගේරා මහත්මිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර  ඇය රඟ පෑ මුල්ම චිත්‍රපටය මෙය වීම ද විශේෂත්වයකි.

 

මූලාශ්‍ර