Responsive image
English site
English site

දිනය: 12-04-2019 | වේලාව: ප.ව 04:36 | 20

රටකට විනයක් වගේම එක ප්‍රථිපත්තියක් ඕනෑ.

පසුගිය ආණ්ඩුවේ සැලසුම් නතර වීම හේතුවෙන් රටෙහි විදුලි අර්බුදය ඇති වී තිබෙන බවද වැඩි මිලට විදුලිය මිලදී ගැනීමෙන් විදුලිය මිලදී ගන්නා අයටත් වාසි ලැබෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
නිදහස් කලා සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රීක් ශාඛාව පිහිටුවීම ඊයේ (11) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී සිදුකළ අතර මේ සඳහා ජාතික මට්ටමේ කලාකරුවෝ රැසක් සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ කලාකරුවෝ රැසක් එක්වූහ.
පැමිණ සිටි කලාකරුවන් අමතමින් විපක්ෂනායකවරයා මෙසේද සදහන් කළේය.
අපි ආරම්භ කළ විදුලි බලාගාර තිබුණේ නැත්නම් අද මුළු රටම අඳුරේ. නොරොච්චෝලේ විදුලි බලාගාරය, කෙරවලපිටිය බලාගාරය මේ සියල්ල අද නතර වෙලා. අපේ සැලසුම් නතර වුණ නිසායි අද මේ විදුලි අර්බුදය ඇති වී තිබෙන්නේ. විදුලි අර්බුදයෙන් කාටද වාසි ඇතිවෙන්නේ. මේකෙ වාසි ලබන පිරිසක් ඉන්නවා. අද වැඩි මිලට විදුලිය ගන්නවා. ඒ අයට ඒ වාසිය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විදුලිය ගන්න පිරිස්වලටත් වාසි ලැබෙනවා. ජනතාව අඳුරේ තියලා හරි තමන්ගේ මල්ල පුරවගන්න තමයි මේ අය අද උනන්දු වී තිබෙන්නේ. රට අඳුරට පත්වී තිබෙන වේලාවක් අද උදා වී තිබෙන්නේ.


පසුගිය අවුරුදු හතරක කාලයක් තුළ මේ රජය විසින් කලාකරුවන්ට සැලකූ ආකාරය ගැන මම අමුතුවෙන් කිව යුතු නැහැ. එදා ජනවාරි මාසයේ අට වැනිදා අපි පරාජයට පත්වූවාට පසු මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තු තිබුණා. කලාකරුවොන්ට බලාපොරොත්තු තිබුණා. ගොවියන් තම අස්වැන්නට ලැබෙන මිල පිළිබදව බලාපොරොත්තු තබාගෙන සිටියා. නමුත් ඒ බලාපොරොත්තු සුන් වුණා. අපි කරගෙන ආපු සියලුම සංවර්ධන කටයුතු අවුරුදු එකහමාරක් දෙකක් නැවැත්වුවා. චීනයෙන් ගෙනාව දේවල් කියලා පරීක්ෂණ කරන්න වසර දෙකක් පමණ ගතකළා. මට මතකයි අගමැතිවරයාව මට දවසක් හම්බවෙලා මම එතුමාට කිව්වා මේව කරන්න එපා. චෝදනාවක් තිබෙනවානම් ඒවා විභාග කරන්න. හැබැයි මේ වැඩ නවත්වන්න එපා. ආර්ථිකය කඩාගෙන වැටුනොත් එය ගොඩ නඟන්න අමාරු වෙයි කියලා කිව්වා. ඊට පස්සේ ඔව් ඔව් මේව පටන් ගන්න ඕන කියල අවුරුදු දෙකකට පස්සෙයි ආයෙ ආරම්භ කළේ.


වරාය නගරයේ නම් වෙනස් කළා. මුල්ගල පැත්තකට කළා. ඊට පස්සෙයි වැඩ පටන් ගත්තේ. දැන් එහි තත්ත්වය පේනවා. මත්තලත් ඉන්දියාවට විකුණලා. ඒ කාලයේ කොයිතරම් ගොවිතැනට බරක් දුන්නාද කියනවා නම් වැඩිපුර වී ටික දාන්න තැනක් නැතුව ගුවන්තොටුපොළේ දැම්මා. ඒකයි ලොකුම හපන්කම මේ ආණුඩුව කළ. එය විනාස කරලා. දැන් වහලා දාල. විකුණන්න සූදානමක් තිබෙනවා.


පසුගිය දවසක බෙලිඅත්තට කෝච්චිය ආවා. මමත් කෝච්චියෙන් ආවා. කෝච්චිය එන්න තිබුණේ මීට අවුරුදු දෙකකට පමණ ඉහතදී. අධිවේගී මාර්ගය එන්න තිබුණා. නුවර දක්වා අධිවේගී මාර්ගය යන්න තිබුණා. මේ සියල්ලම නතර වෙලා. රත්නපුරයට අධිවේගී මාර්ගය ආරම්භ කරන්න තිබුණා. මේ සියල්ලම ඇණ හිටියේ මේ අයගේ කලමනාකරණයේ දුර්වලතා නිසා.


දැන් ජලය ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. මිනිස්සුන්ට බොන්න ජලය දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. මේ වගේ කෙටි කාලයක් තුළයි මෙහෙම තත්ත්වයට රට පත්ව තිබෙන්නේ. ආණ්ඩුව මෙයට වගකිව යුතුයි.
සමහරු මගෙන් අහනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වුනාද කියලා. නැහැ අපි අයින් වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණාම ආණ්ඩු පිහිටුවන්න අපිත් විපක්ෂයට එකතු වුණා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් අස්වෙලා බණ්ඩාරනායක මහත්තයලා ඩී.ඒ.රාජපක්ෂ මහත්තයලා පක්ෂයෙන් අයින්වෙලා ආවේ එක්සත් ජාතික පක්ෂය අත්හැරලා. පාර්ලිමේන්තු පළාත් සභා මැතිවරණවලදී හැම රැස්වීමකදීම කතා කළේ අපි. යූඑන්පී අය නෙවෙයි කතා කළේ මේ ආණ්ඩුව පිහිටුවන්න. ආණ්ඩුව පිහිටෙව්වේ යූඑන්පීයට විරුද්ධව දීපු ඡන්දවලින්. ඒ ටික එකතු කරන් ආණ්ඩුවට ගියාම අපිට සිදුවුණා ඈත් වෙන්න. ඒ නිසායි අලුත් පක්ෂයක් ගොඩ නැගුණේ. අලුත් පක්ෂයක අවශ්‍යතාව ආව රටට. තුන්වෙනි බලවේගයක් විදියට හැදිලා අවසානයේදී ප්‍රදේශීය සභා මැතිවරණයේදී ප්‍රධාන බලවේගය බවට පත්කළා.


රටේ දැන් තිබෙන තත්ත්වය ඇත්තටම කණගාටුදායකයි. ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර නවත්වලා. ආණ්ඩුව නම් බදු ගැන සන්තෝස වෙනවා. එයාල කියනවා ආදායම වැඩි කරගත්තලු. පසුගිය ආණ්ඩුව වගේ දෙගුණයක් ආදායම වැඩිකරගත්තලු. හැබැයි ආදායම වැඩි කරගත්තේ බදු දෙගුණයක් වැඩි කරලා. ජනතාව පීඩනයට පත්කරලායි මේ ආණ්ඩුව මුදල් හොයන්නේ. ක්‍රෙඩිට් කාඩ් එකෙනුත් බදු අය කරන්න පටන් අරන් තිබෙනවා. මේ විදියට හැම දෙයකින්ම බදු අය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. රඟපානවටත් බදු ගහනවා. කලාකරුවො පොතක් ලිවුවට පොත විකුණුවට බදු අයකරගන්න තත්ත්වයක් ඇති වී තිබෙනවා. කවදද ඉතිහාසයේ මෙහෙම වුණේ. මේ කලාකරුවෝන්ට අත දෙන එකද එයාලා ඈත් කරන එකද කරන්නේ.
දවස ගානේ මේ ආණ්ඩුව පිරිහෙනවා. ජනතාවට එපා වෙනවා. ජනතාවගේ ප්‍රශ්න ගැන හිතන්නේ නැහැ.
විනයක් රටකට තිබෙන්නට ඕනෑ. විනයක් නැතුව රටකට ඉදිරියට යා නොහැකියි. උදේට කියන එක දවල්ට වෙනස් කරන්නවත් දවල්ට කියන එක රෑට වෙනස් කරන්නවත් බැහැ. එක ප්‍රථිපත්තියක් තිබෙන්නට ඕනෑ.


දැන් මත්කුඩුවලින් මුළු රටම වෙලාගෙන ඉවරයි. හැමදාම මත්කුඩු අත්අඩංගුවට ගන්නවා. කිලෝ ගණන් අල්ලනවා. ගිනි තියලා විනාස කරනවා. මේ මොනව කළත් මත්කුඩුවල මිල වැඩි වෙලා නැහැ. තවමත් කුඩු එදා ගත්ත මිල ගණන්වලටම ගන්න පුළුවන්. මොනව වුණත් පොලිසිය කරන සේවය අපි අගය කළ යුතුයි. කුඩුවලින් ජනතාව බේරාගැනීමට ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සකස් කළ යුතු කාලය එළැඹ තිබෙනවා යැයිද පැවසිය.

 

මූලාශ්‍ර