Responsive image
English site
English site

දිනය: 19-09-2019 | වේලාව: පෙ.ව 07:20 | 88

රාජිත අද ජනපති කොමිසම හමුවට

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනා‍‍ධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිතව ඇත.

අද දහවල් 01.30 ට කොමිශන් සභාව හමුවේ පෙනී  සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම්දී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.

මා‍ළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ජනා‍ධිපති කොමිසම වෙත පැමි‍ණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැදවීම සිදුකර ඇත.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා ද ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා හා බලාගාර සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදුව ඇති වංචා හා දූෂණ සම්බන්ධව ඇති පැමිණිල්ලට අදාලව සාක්ෂි ලබාදීම සදහා ඔහු කොමිසමට කැඳවා ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව කොළොන්නාව තෙල් ගබඩාවේ තාර විකිණීමේදී රුපියල් මිලියන 358  ක වංචාවක් සම්බන්ධයෙන් කොළොන්නාව තෙල් ගබඩාවේ නිලධාරීන් පිරිසකට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා ද අද ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

 

 

 

 

මූලාශ්‍ර