Responsive image
English site
English site

දිනය: 06-03-2019 | වේලාව: පෙ.ව 10:42 | 99

රාවණ ටෙලියේ කපලා කොටලා වැඩ පෙන්වන කවී

රාවණ ටෙලි නිර්මාණය එක්ක ඔබේ තියෙන සම්බන්ධය ගැන මුලින්ම කියමු?

රාවණ ටෙලි නිර්මාණයේ සංස්කාරකවරිය විදියට තමයි මම වැඩ කරන්නේ.

මෙය ඔබේ පළමු ටෙලි නාට්‍ය සංස්කරණය නේද?

ඔව්. මම අවුරුදු තුනහමාරක් විතර සහාය සංස්කාරකවරියක් ලෙස වැඩ කරලා තියෙනවා. ලෝකාන්තරයෝ, ත්‍රිමාණ, ස්වේත ගංතීර, සික්කා ටීම් වගේ නිර්මාණ කිහිපයකම මම සහාය සංස්කරණයට එකතු වෙලා තියෙනවා.

රාවණ වගේ දැවැන්ත නිර්මාණයක සංස්කාරකවරිය වෙන්න ඔබට පසුබිම නිර්මාණය වුණේ කොහොමද?

මම මුලින්ම හඳුනගන්නේ තුෂාර තෙන්නකෝන් මහත්මයාව. ඔහු තමයි මට මේ නිර්මාණය සංස්කරණය කරන්න ආරාධනා කළේ. ගිය වසරේ අප්‍රේල්වල ඉඳන් තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. දැන් තියෙන දැවැන්තම ටෙලි නිර්මාණයකට මේ විදියට දායක වෙන්න ලැබීම ඇත්තටම සතුටක්.

හා හා පුරා කියලා මෙවැනි දැවැන්ත නිර්මාණයක් සංස්කරණය කරන්න ලැබෙද්දි ඒක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?

ඇත්තටම ඒක ලොකු අභියෝගයක් කියලා හිතුණා. නමුත් මම මුලින්ම වැඩ කරලා තිබුණේ ලක්රුවන් ද සේරම් අයියා එක්ක. ඉතින් මම ඉගෙන ගෙන තිබ්බ දේවල් එක්ක මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාස කළා.

වෘත්තීයමය ජීවිතය, කලා ක්ෂේත්‍රයේ මේ පැතිකඩෙන් ඉස්සරහට ගෙනියන්නද ඔබ බලාපොරොත්තු වුණේ?

මම මුලින්ම හිතාගෙන හිටියේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඒත් උසස් පෙළ කළාට පස්සේ මට හිතුණා මේ පැත්තට යොමු වෙන්න. ඉතින් මම සංස්කරණ ශිල්පිනියක් වෙන්න අවශ්‍ය නිසා ආයතන කිහිපයකින් ඒ සම්බන්ධ ඩිප්ලෝමා කළා.

කවී සංස්කරණ ශිල්පිනිය විදියට වැඩ කරපු පළමු වැඩේට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් අය නාට්‍ය ගැන වගේම සංස්කරණය, කලර් ගේ‍ර්ඩ් එක වුණත් ලස්සනයි කියලා කියනවා.

දිගටම කවී මේ ක්ෂේත්‍රයේ රැඳෙයිද?

ඒක තාම තීරණය කරලා නැහැ. කොහොම වුණත් රාවණ ටෙලි නිර්මාණය අවුරුදු එකහමාරක් විතර යයි. ඉතින් දැන් මම කාලය යොදවලා තියෙන්නේ එය සාර්ථක කරගැනීම වෙනුවෙන්.

ඔබේ භූමිකාවෙන් නාට්‍යයට උපරිම දායකත්වය දුන්නා කියලා හිතනවද?

ඔව්. මම එය සාර්ථක කරන්න පුළුවන් උපරිම දායකත්වය දෙනවා. ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.

කවීගේ පෙනුමත් එක්ක රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

මට රංගනයට ආරාධනා නම් ලැබිලා තියෙනවා. හැබැයි රංගනයට එන්න නම් මගේ ලොකු අදහසක් නැහැ. වැඩිය කට්ටිය නොකරන දෙයක් කරන්න තමයි මට ඕන වුණේ.

ක්ෂේත්‍රයේදී ඔබට කැපිලි කෙටිලි ඇවිත් නැද්ද?

තාම නම් මට එහෙම කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වෙලා නැහැ.

කවීගේ ජීවිතේ පසුබිම් විස්තරත් කියමු නේද?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, මමයි, අයියයි. තාත්තා අපි අතර නැහැ. අම්මා ගෘහණියක්. මගේ වයස අවුරුදු 23යි. මම ඉගෙන ගත්තේ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයෙන්.

කවීට මතක් කරන්නත් පිරිසක් ඇති?

මගේ පවුලේ අය, රාවණ නාට්‍යයේ අධ්‍යක්ෂතුමා, ඒ වගේම අවුරුදු තුනහමාරක් මට උගන්නපු ලක්රුවන් අයියා වගේම මට උදවු කරපු හැමෝටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

 

මූලාශ්‍ර