Responsive image
English site
English site

දිනය: 18-09-2018 | වේලාව: ප.ව 02:41 | 79

රුපියල තවත් බාල්දු වෙයි

ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ පහල යාම අද වන විට සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත් ව ඇත. 

එකම සිද්ධිය දිගින් දිගටම එයාකාරයෙන්ම සිදුවන්නේ නම්, එය සාමාන්‍ය සිදුවීමක් වන්නේ යම් සේද, ශ්‍රී ලංකා රුපියලේ කඩා වැටීම ද අද වන විට දිනපතා වාර්තා වන සාමාන්‍ය සිදුවීමක් තරමට ම සාමාන්‍යකරණය වී ඇත.

ඩොලරයේ විකුණුම් මිල පසුගිය සිකුරාදා (14) රුපියල් 164.00 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ (17) දිනයේ දී එය රුපියල් 165 සීමාව ද පසු කළේය. 

එසේම අද (18) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 166 ඉක්මවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

මීට පෙර මෑත කාලයේ දී එයාකාරයෙන් සාමාන්‍යකරණය වූ සිදුවීමක් වූයේ ඉන්ධන මිල ඉහළ යාමයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුහසින් වත්මන් රජය විසින් ක්‍රියාවට නංවන මිල සූත්‍රයට ස්තුති වන්නට සෑම මසකම 10 වෙනි දින මධ්‍යම රාත්‍රියේ පෙට්‍රල් හා ඩීසල් මිල රුපියලකින් හෝ දෙකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් ඉහළ යන බව මහජනතාවට ප්‍රත්‍යක්ෂ වී ඇත. 

වෙනදා ඉන්ධන මිල ඉහළ යාමේ අනුමානය අනුව පිරවුම්හල්වල දිගු පෝළිම් හෝ ඛනිජ තෙල් සංස්ථාව විසින් පිරවුම්හල වෙත අවශ්‍ය තරම් තොග බෙදාහැරීමෙන් වැළකීම හෝ මේ වන විට නැවතී ඇත්තේ එකී සාමාන්‍යකරණයේ ආනුභාවයෙනි.

මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (2018 සැප්තැම්බර් 17) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 163.1038 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 166.6411 ක් වශයෙනි. 

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිලයි.

 

මූලාශ්‍ර