Responsive image
English site
English site

දිනය: 05-07-2019 | වේලාව: පෙ.ව 10:58 | 92

රුවන්ඩා ජන සංහාරය "සිය දෙනෙකුට වඩා මාව දූෂණය කළා"

රුවන්ඩාවේ සිදු වූ ජන සංහාරය අතරතුරදී සිය මව දුෂණයට ලක් වී ඇති බව පවසන 24 හැවිරිදි රුවන්ඩා ජාතිකයෙක් ඔහුගේ උපත පිළිබඳව තමන් කරුණු දැනගත් අකාරය බීබීසීයට හෙළි කළේය.

දූෂණයට ලක් වීම නිසා ඔවුහු තවමත් සමාජයේ ගර්හාවට ලක්වෙති. එබැවින් මෙහි සඳහන් වන්නේ ඔවුන්ගේ සැබෑ නම් නොවේ.

ප්‍රාථමික පාසල් අධ්‍යාපනය අවසානයේ දී තමන්ට ලබා දුන් විස්තර පත්‍රිකාවක සිය දෙමාපියන් ගේ නම් විමසා තිබු නිසා, සත්‍ය වශයෙන්ම තම පියා කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට මුලින්ම ගැටලුවක් මතුවූ බව ජෝන් පියරේ පවසයි.

“මම ඔහුව දන්නේ නෑ – මම ඔහුගේ නම දන්නේ නෑ,” ඔහු කීය.

(අනතුරු ඇඟවීමයි: මෙම වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු සමහර පුද්ගලයින්ට සංවේදී විය හැක.)

1994 වසරේ සිදුවූ රුවන්ඩා ජන සංහාරයේ දී පුද්ගලයින් 800,000 ක් පමණ මරණයට පත් විය. එබැවින් පියෙකු නොමැති නිවෙස් රුවන්ඩාව තුළ හමුවීම අරුමයක් නොවේ.

නමුත් දරුවන් බොහෝ දෙනෙක් සිය පියාගේ නම දනිති.

ජෝන් පියරේට ගම්වාසීන්ගේ විවිධ කසු කුසු ඇසී තිබේ. ඇතැම්හු ඔහුට විවිධ නම්වලින් ආමන්ත්‍රණය කරති. නමුත් සියලු සත්‍ය තොරතුරු දැනගැනීමට ඔහුට වසර ගණනාවක් ගත විණි.

“ඔහුට විවිධ තොරතුරු ඇහිලා. ඇතැම් ඒවා ඕපාදුප. අපේ ප්‍රජාවේ හැමෝම දන්නවා මාව දූෂණයට ලක්වුණා කියලා. මට ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නෑ,” ඔහුගේ මව කැරීන් පැවසීය.

“මගේ පුතා දිගින් දිගටම ඇසුවා ඔහුගේ පියා කවුද කියලා. නමුත් 100 ක් හෝ ඊට වැඩි පිරිසක් මාව දූෂණය කළ නිසා මට හරියටම කියන්න බෑ තාත්තා කවුද කියලා.”

1994 වසරේ රුවන්ඩාවේ දින සියයක් තුළ සිදු වූ සමූල ඝාතන අතරතුර සිදූ වූ ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව අපමණය. එහි ප්‍රතිඵලයක් ලෙස දරු උපත් කීයක් සිදු වූයේ දැයි නිශ්චිතව කිව නොහැක.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැටුම් ආශ්‍රිතව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට දැඩි උත්සහයක් ගනිමින් සිටී. ඉකුත් වසරේදී සිරියාව, කොලොම්බියාව, කොංගෝ රාජ්‍යයේ සහ මියන්මාරයේ සිදු වූ ගැටුම්වලදී ස්ත්‍රී දූෂණය යුද අවියක් ලෙස භාවිත විය.

ගැටුම්වලදී සිදුවන ස්ත්‍රී දුෂණ තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ දිනයට සමගාමීව, එවැනි සිද්ධිවලට මුහුණ දුන් අය #EndRapeinWar නම් හෑෂ්ටෑගය භාවිත කරමින් තම අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගනිමින් සිටිති.

අතවරයට ලක්වූ කාන්තාවන්ගේ අත්දැකීම්

වසර 25ක් පමණ ගතවී තිබුණ ද වින්දිත පුද්ගලයින්ට එම සිදුවීම් ආවර්ජනය කිරීම පහසු කටයුත්තක් නොවීය. කැරීන්ගේ කතාව ඇසීමේදී, ඇය තම පුතුට සත්‍ය පැවසීමට, ඔහු නිසි වයසට එළඹෙන තෙක් සිටියේ ඇයිද යන්න පැහැදිලි වේ.

ඇය ප්‍රථම වරට අතවරයට ලක් වන විට ඇයගේ වයස ඔහුගේ වයසට සමාන විය. හුටු ගෝත්‍රික අසල්වාසීන්, කැරළිකරුවන් සහ හමුදා භටයින් අතින් අතවරයට ලක් වූ ටුට්සි කාන්තාවන් සහ ගැහැණු ළමුන් අතුරින් ඇය ද කෙනෙකි.

ජන සංහාරය ඇරඹුණා පමණි. ඇය පසුවූයේ මුහුණට එල්ල වූ මන්න පහර දෙකකින් පීඩා විඳිමිනි. එම තුවාල නිසා තවමත් ආහාර ගැනීම සහ කතා කිරීම ඇයට අපහසුය.

ඇයට හිරිහැර කළ පිරිස ඇය සමග එකම ගමේ ජීවත් වූ පිරිසකි. ඝාතනය කළ පිරිමින්ගේ, කාන්තාවන්ගේ සහ ළමයින්ගේ සිරුරු දමන වළක් අසලට ඇයව ඇදගෙන යන ලදී.

තම තුවාල නිසා පීඩා විඳිමින් සිටිය ද මියයාමට කැරීන් තුළ කැමැත්තක් නොවීය. හමුදා භටයින් කණ්ඩායමක් ඇයට අතවර කරන විට ද ඇයට ඇති වුයේ එවැනිම සිතුවිල්ලකි.

නමුත් ඉන් අනතුරුව තවත් පිරිසක අතවරයට ඇය ලක් විය. සමහරු ඇයව හපා තිබුණි. එවිට මිය යා යුතු යැයි ඇයට සිතී තිබේ.

“දැන් මට ඉක්මනින් මැරෙන්න ඕන. බොහෝ අවස්ථාවල මට මැරෙන්න සිතුනා.”

නමුත් ඇයගේ අමිහිරි අත්දැකීම නිම නොවුණි. ඒ ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහල හුටු කැරළිකරුවන් ග්‍රහණයට නතු වීම නිසාය.

“මට පැනල යන්න විදිහක් තිබුණේ නෑ. බොහොම අපහසුවෙන් සිටියේ,” ඇය පවසයි.

“හිතුන හිතුන කෙනාට මට අතවර කරන්න පුළුවන් වුණා. කාට හරි හිතුනොත් මගේ ඇඟට මුත්‍රා කරන්න, එසේ කිරීමටත් අවස්ථාව තිබුණා.”

කැරීන් ට ප්‍රතිකාර ලබා ගැනීමට වාසනාව හිමි වූයේ රුවන්ඩා දේශප්‍රේමි පෙරමුණ විසින් එම රෝහල හුටු කැරලිකරුවන්ගෙන් මුදාගැනීමෙන් පසුවය. පසුව ඇයට නිවසට යාමට අවස්ථාව සැලසින.

ඒ වනවිට ඇය ඉතා දුර්වල තත්ත්වයක පසුවිය. නමුත් ඇය ගැබිනියක් බව දැනගත් වෛද්‍යවරු පුදුමයට පත්වූහ.

“දරුවා ඉපදුනාම මට තේරුණේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. මම විශ්වාස කළෙත් නෑ දරුවා මගේ කියලා. මම හැම තිස්සෙම හිතුවෙ මේ මොකක්ද වුණේ කියලා. දරුවා ඉපදුනාට පස්සේ මම එයාව තියා ගත්තත් මට ආදරයක් දැනුනේ නෑ.”

ගෙවුණු 25 ස් වසර පුරා රුවන්ඩාවේ දරුවන්ට මෙවැනි කතා සිය ගණනක් මෙම ආකාරයට ම හෝ ඊට වෙනස් ආකාරයකින් හෝ කියා තිබේ. නමුත් ඒවා විවෘතව පැවසෙන්නේ කලාතුරකිනි.

“ස්ත්‍රී දුෂණය තහනම්. බොහෝ සිදුවීම් වලදී කාන්තාව තමයි ලජ්ජාවට ලක් කරන්නේ, පිරිමියා නොවෙයි,” “සවයිවර්ස් ෆන්ඩ්” හි විධායක අධ්‍යක්ෂ සෑම් මන්දරේරේ පවසයි.

රුවන්ඩා ජන සංහාරය සමයේදී අතවරයට ලක් වූ මව්වරුන්ට සහ ඔවුන්ට උපන් දරුවන් ට අධ්‍යාපනික සහ මානසික සහාය ලබාදෙන “ෆවුන්ඩේශන් රුවන්ඩා” වැඩසටහනට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ “සවයිවර්ස් ෆන්ඩ්” මගිනි.

ඇතැම් සිදුවීම් වලට, ඔහු පවසන්නේ, ලක්වන අපකීර්තිය නිසා එලෙස බිහිවූ දරුවන් අත්හරින ලෙස ඥාතීන් සමහර මව්වරුන්ට බලකර සිටින අතර සමහර විවාහ බිඳ වැටීමටද එවැනි සිදුවීම් හේතු වේ.

හැකිතරම් එය රහසක් ලෙස තබා ගැනීමට සමහර කාන්තාවෝ සමත් වුවෝය. ජොන් පියරේ මෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උත්පත්තිය ගැන දැන ගෙන තිබුණේ විස්තර පත්‍රිකාව පිරවීමට යාමේදී ය.

“ජන සංහාරයෙන් පසුව ඔවුන් ඉපදුනේ කොහොමද කියල දරුවන්ට පැවසීම අම්මලාට ඉතා අපහසු දෙයක්. නමුත් පියා ජන සංහාරය අතරතුර මිය ගියා කියලා කියන ඒක පහසුයි.”

“නමුත් දරුවෝ ලොකු මහත් වෙනකොට ඔවුන් විවිධ ප්‍රශ්න අහනවා. එතකොට මවට සිද්ධ වෙනවා ඇත්ත කියන්න.”

කැරීන් අවසානයේ තම පුත් ජොන් පියරේට ඔහුගේ පිළිසිඳ ගැනීම සහ උපත පිළිබඳ සම්පූර්ණ කතාව පැවසුවේ ඔහුට වයස අවුරුදු 19ක් හෝ 20ක් වූ විටදීය.

ඔහු එය පිළිගත් බව ඔහු පවසයි. නමුත් තවමත්, ඔහුගේ ජීවිතයේ පියෙකු සිටිය යුතු තැන හිඩැසක් ඇතැයි ඔහුට හැඟේ. පුදුමයට කරුණක් නම් තම මවට අතවර කළ පුද්ගලයා කෙරෙහි ඔහුට කිසිදු වෛරයක් නොදැනීමය. එසේම කැරීන් ද දැන් එම පුද්ගලයාට සමාව දීමට තීරණය කර ඇත.

“මා වඩාත් කම්පනයට පත් කළ කරුණක් වුණේ ඔවුන් ගැන සිතීම.” “නමුත් සමාව දුන් විට, ඔබට සැහැල්ලුවක් දැනෙනවා,” කැරීන් පවසන්නීය

“මට ඔහු ගැන කවදාවත් තරහක් දැනුනේ නෑ,” ජොන් පියරේ පැවසීය.

“මම සමහර වෙලාවට ඔහු ගැන සිතනවා: ජීවිතයේ විවිධ අභියෝග මතුවන විට මට හිතෙනවා ඒවා විසඳගන්න තාත්තා කෙනෙක් හිටියනම් හොඳයි කියලා.”

කැරීන් උපදේශන සේවාවල අධාරය ද ලබා ගත්තාය. එබැවින් ඇයට තම පුතු පියරේ ක්‍රමයෙන් වැඩෙන විට ඔහු හා බැඳීම ඇතිකර ගැනීම පහසු විය.

“මට දැනෙනවා මේ මගේ පුතා කියලා,” කැරීන් පැවසීය.

බීබීසී

මූලාශ්‍ර