Responsive image
English site
English site

දිනය: 10-06-2016 | වේලාව: පෙ.ව 11:34 | 242

ලාකඩ කාර් හා මලකඩ කාර්

“යා දෙක නොරත රත සමග පෑහීමක් නැත”.  පාසල් කාලයේ අප ඉගෙන ගත්තේ එහෙමය.  

නමුත් පසු කලෙකදී ගජේ දැම්ම කොලු ගැටව් එය මෙලෙස අලුතින් ලීවේය.  උන්ට අනුව එය,

“යා දෙක නොරත රත -  සමග පෑහීමක් නැත,

ලාකඩ එසේ නැත - එකක් රත්වූ කලට පෑහෙත” යනුවෙන් විය.  

මේ යාදෙක - ලාකඩ කතාව කඩිමුඩියේ මතක් වුණේ අපේ දේශපාලන “ගොයියලා” හින්දාය.  

අපේ දේශපාලන “ගොයියලා” ප්‍රධාන කොට වර්ග දෙකකි.  ඉන් එක වර්ගයක “ගොයියලා” නිල් පාටය.  සෙස්සෝ කොළ පාටය. ඔය අතරේ එහෙන් මෙහෙන් රතු ද, 70 දශකයේ හින්දි චිත්‍ර‍පටිවල කියු ඊස්ට්මන් වර්ණ ද නැතුවා නොවේ.  නමුත් ඒ හාල්මැස්සෝය.  තෝරු මෝරු නිල් හා කොළය.

මේ නිල්, කොළ තෝරු මෝරු මෑතක් වන තුරුම හිටියේ “අං පටලවාගෙන” මඩේ බැස ගෙනය.  හරියට මීහරක් ගිනියම හැදුණු මී හරකුන් මෙනි.  (ගොයියලාට උපමා ලෙස මී හරකුන් ගත්තාට  මී හරකුන්ගේ උදහසට ලක් නොවෙත්වා!)  මේ නිසා අපි ඒ කාලේ නිල්, කොළ ගොයියලාට කීවේ යා දෙක නොරත රත…. කියාය.   නිල් , කොළ ගොයියලා මේ සම්මජාතියේ පෑහෙන්නේ නම් නැතැයි අපි සිතුවෙමු. ඒ නිසා නිල්, කොළ අං පොරයට වැඩිපුරම හුරේ දැම්මේ අපිය.  

නමුත් අපට වැරදුනේ එතැනය.  

කොලු ගැටව් කීවා සේ දැන් නිල්, කොළ ගොයියලා එකක් රත්වූ කල ලාකඩ මෙන්  පෑහිලාය.  පහුගිය ඡන්දෙදී දෙපිළ බෙදී කෑ මොර දුන් නිල්, කොළ ගොයියලා දැන් පෑහිලාය.  ඒ නිසා උන් දැන් නිකම්ම නිකම් ගොයියලා නොවේය.  “ලාකඩ ගොයියලාය”.  

ඡන්ද කාලෙදී එකෙක් රුපියල් දහදාහකින් පඩි වැඩි කරන්නට කතා කරන කළ අනෙකා කීවේ හොඳ කාර් එකක් ගන්න පාර කපා දෙන්නම් කියාය.  රෑ වැටුණු වලේ දවල් වැටෙන්න දස්ස නිසා කවුරු කවුරුත් එක්වී හොඳ කාර් එකක් ගන්න කොළ ගොයියලා කවුන්සිලේට යැව්වේය.  කවුන්සිලේ ගිය ගොයියලා ලාකඩ මෙන් රත්වී කොළ, නිල් පෑහුණේය.  ඒ තමන්ගේ ගොඩ සවිකරගන්නටය.  

මේ ලාකඩ ගොයියලා ඊයේ පෙරේදා කවුන්සිලේට අපූරු සම්මුතියක් ගෙන ආවේය.  සම්මුතිය ලාකඩ ගොයියලාට කාර් ගන්නය.  ලාකඩ කාර් බොහොම ගණන්ය.  රුපියල් කෝටි එකසිය දාහතටත් වඩා වැඩිය.  ගොයියලා කවුන්සිලේට ගොස් අපට කාර් ගේනකම් බලන් හිටි අපට ලැබුණේ පරණ මලකඩ කාර් මය.  

ගොයියලාට ලාකඩ  කාර් ය.  අපිට මලකඩ කාර් ය.  

ඒ විතරක් නම් මදෑ ගොයියලා ලාකඩ කාර් ගන්නා ගමන් අපේ මලකඩ කාර් එකට බද්දකුත් ගැහුවේය.  ගැහුවේ නිකම්ම නොවේය.  ඕන එකාලා එපා එකාලා හැමෝම කාර් ගන්නවා යැයි කියා කඩප්පුලි  කතා කියන ගමන්ය.

කරුමෙක මහත, ඕන එකාලයි,එපා එකාලයි කියා හැම ජෝනෙක්ම කවුන්සිලේට ගිය නිසා  අපේ මලකඩ කාර් ජෝන් බාස්ටම ගියේය.

ඡන්ද කාලේ අපේ ගොයියලා ගැන මහ ලොකුවට හිතාගෙන අපි ඇද බෑ නරිවාදම් දැන් අපේම රෙද්ද පල්ලෙන් වැගිරෙන්නේය.

දැන් ඉතිං කුමක් කරන්නද?

අනිච්චං!

ගලේ පැහැරූ බළලාට වුණු දේ දැන් අපිටත් සිදුවී හමාරය.  

 

-චන්ද්‍රගෝමී-

මූලාශ්‍ර

Tags