Responsive image
English site
English site

දිනය: 10-07-2019 | වේලාව: පෙ.ව 10:43 | 84

වැටි වැටී නැගී සිටි රොක් රජු - එල්විස් ප්‍රෙස්ලි

ඇමරිකාවේ දුප්පත් දෙමව්පියන් යුවලකට  නිවුන් දරු උපතක් සිදු වෙනවා.අඳුරු,විදුලිය නැති,ජලය නැති ,අපිරිසිදු පරිසරයක තමයි මේ උපත සිදු වෙන්නේ.
දෙදෙනාම පිරිමි දරුවන්.හැබැයි එක් දරුවෙකුට ජීවත් වෙන්න වෙන්නේ   නෑ.මේ නිසා අනිත් දරුවාව  ඉතාම පරිස්සමෙන් හදනවා.ඔහුගේ නම "එල්විස් ආරොන් ප්‍රෙස්ලි”.

මේ කාලයේ දී පුංචි එල්විස්ගේ තාත්තාට සුළු වැරැද්දකට හිර ගෙදරට යන්නට සිදු වෙනවා.දරිද්‍රතාවයේ උපරිම ලෙස සිටින එල්විස් සහ ඔහුගේ මව ඉතා අසරණ ජීවිතයක් ගත කරනවා.ඉතාම භක්තිමත්ව ආගම ඇදහු මව සෑම විටකම  එල්විස්ව දේවස්ථානයට එක්කගෙන යනවා.පල්ලියේ යාතිකා එල්විස් ගේ සිතේ සංගීතය යන පුංචි පැළය දළුලා වැඩෙන්නට තුඩු දෙනවා.එල්විස් ගේ 11 වැනි උපන්දිනය ඔහුට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඒ අම්මා දුන්න තෑග්ග නිසා.

ඒ තෑග්ග ගිටාරයක්.එල්විස්  ගිටාරයට පණ වගේ ආදරය කලා.ජීවිතයේ බොහෝ දුෂ්කරතාවන් අමතක කරගත්තේ ඔහු ගිටාර් වාදනයයෙන්. දවසක් පාසලේදී හිරිහැර කාරයෙක්  ගිටාරය කඩනවා.බොහෝම දුකෙන් ගෙදර ආව එල්විස් එය නැවත හදා ගන්න උපරිම උත්සහයක් ගන්නවා.නමුත්  අසාර්ථකයි. ඔහුගේ පංතියේ සිටි අනිත් මිතුරන් අලුත් ගිටාරයක් එල්විස්ට ලබා දෙනවා.

තමාගේ පාසල සංවිධානය කල තරඟයකින් නොසිතු ලෙස ජය ගන්නට එල්විස්ට හැකිවෙනවා. 1953 දී පාසල් ජීවිතය අවසන් කිරීමෙන් පසු තමන්ගේ ගායන සිහිනය  සැබෑ කරගන්නට එල්විස් කැප වෙනවා.මේ සඳහා මුදල් උපයා ගන්නට ඔහු රැකියා රාශියක් කරනවා.ගීතයක්

නිර්මාණය කිරීමට මුදල් එකතු කරගන්නවා.නමුත් පළමු ගීතය අසාර්ථකයි.

“ පීඩාවට පත්වීම මිනිස් ස්වභාවයයි. නමුත් මම ඉදිරියටම යනවා මට කලහැකි උපරිම දේ කරනවා.” තවත් වසරකට පසුව එල්විස් තවත් ගීතයක් සන් ස්ටුඩියෝවේ පටිගත කරනවා. එයටද ලැබුනේ අඩු ජනප්‍රියතාවයක්.මෙම වසරේදීම එල්විස් ගේ සංගීත කණ්ඩායමද  ප්‍රේක්ෂක ජනප්‍රියතාව හීනවී  අසාර්ථක වෙමින් පවතිනවා. “ ඔවුන් කිව්වා මට ගීත කියන්නට බැහැ කියලා” එල්විස් තමාගේ පියාට පවසනවා. සංගීතයෙන් අතරමං වුන එල්විස් ට්‍රක් රථ රියදුරෙකු ලෙස සේවය කරනවා.ඊට අමතරව විදුලි කාර්මිකයෙකු වන්නට රාත්‍රි පන්තියකට සහභාගි වෙනවා.

දිනක් ඔහුට සන් ස්ටුඩියෝවේන් දුරකථන ඇමතුමක් එනවා. හඬ පරීක්ෂණයක් සඳහා පැමිණෙන ලෙස. එල්විස් ඉතා හොදින් පුරුදු පුහුණු වී මේ පරීක්ෂණයට සහභාගි වෙනවා.නමුත් මෙවරත් එල්විස්ට සිදු වන්නේ පරජය බාර ගන්නයි.නමුත් එල්විස් පසුබට වෙන්නේ නෑ.

ඔහුගේ 21 වැනි උපන්දිනය එල්විස්ට වාසනාව ගේනවා.1955 වසරේදී  ඔහු “ හාට් බ්‍රේක් හොටෙල් “ ගීතය එලිදක්වනවා.

මේ ගීතය ලොව පුරා සිටින තරුණ ප්‍රජාව ඉතාම ආදරයෙන් වැලඳ ගන්නවා.ගීත දර්ශක වල ඉහලම ස්ථානය මෙයට ලැබෙනවා.එල්විස්ගේ ජීවිතය වෙනස් වෙනවා.

අතිශයින්ම කඩවසම් රූ සපුවකින් හෙබි එල්විස්ට චිත්‍රපට සඳහා රඟපෑමට ආරාධනා ලැබෙනවා.ඊට අමතරව රූපවාහිනේ දොර පවා විවර වෙනවා.

අවසානයේ එල්විස් ප්‍රෙස්ලි කියන නම ඇමරිකානු විලාසිතාවක් බවට පත්වෙනවා.ඔහුට ආවේනික වූ ඇදුම්,නර්තනය  සහ කොණඩා මෝස්තර, තරුණයන් උන්මාදයට පත්කරනවා.ඔහු ඇමරිකාවේ ජනප්‍රියතම ගායකයා බවට පත්වෙනවා.

අදටත් ඔහු “රොක් ඇන්ඩ් රෝල් කිං”දුප්පත්කමේ අඩියේ හිටපු එල්විස් ප්‍රෙස්ලි  මිය ගියත් ඔහු ගේ ගීත,විලාසිතාවන් තවත්

ජීවමානව වැජබෙනවා.

ඔහුගෙන් අපිටත් යමක් ගන්න පුළුවන් නේද?

buzz.yodha.lk

මූලාශ්‍ර