Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: පෙ.ව 09:08 | 35

වික්‍රමසිංහ ආණ්ඩුව තව අවුරුද්දක් මේ රට පාලනය කළා නම් රට ගොඩගන්න වෙන්නේ නෑ

වික්‍රමසිංහ ආණ්ඩුව තව අවුරුද්දක් මේ රට පාලනය කළා නම් මේ රටේ සම්පත් කිසිවක් ඉතුරු නොවන බවත් ඒවා සියල්ල එකින් එක විකුණාගෙන කන තත්ත්වයක් ඇති වී තිබුණු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතාට තවත් මාස කිහිපයකින් පැවැත්වෙන ජාතික මැතිවරණයට සහභාගි වී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාව තිබුණු බව ඇතැමුන් සඳහන් කළද තවත් වසරකට පසුව ආණ්ඩුව භාරගත්තා නම් රටේ සිදුවන දේවල් ආපස්සට හැරවීමේ හැකියාවක් නැතිවන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ (04දා) කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.
මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීලා පැය කිහිපයක් ඇතුළත එතුමාට පුළුවන් වුණා මේ රටේ ජනතාවට සෑහෙන සහනයක් ලබාදෙන්න. ඒ සහනය ලබා දුන්නේ රජයේ අභ්‍යන්තර බදු අඩුකරලා. ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවට හිතකර තීරණ ගැනීමට එතුමාට පුළුවන්.

පෙට්රල්, ඩීසල් මිල අඩු කළා. ඉන්ධන මිල සූත්‍රය කියන්නේ ප්‍රෝඩාවක්. ඒක අහෝසි කළා.
ත්‍රීවීල් ගාස්තුත් අඩු කළා. වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළේ තිබුණු ලොකුම දුර්වලතාව තමයි කිසිදු සංවේදීභාවයක් නොතිබීම. මහින්ද අගමැතිතුමා මුලින්ම කළේ කණපිට හැරවිලා තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය නිසි මඟට ගැනීමයි.

ඒ වගේම කථානායකතුමා ලෝකයට ප්‍රකාශ කරනවා එතුමාට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වාචිකව කිව්වා කියලා මේ මාසේ 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා. ඒක ලොකු ආන්දෝලනයක්. පාර්ලිමේන්තුව කැඳවීම සඳහා බලය තියෙන්නේ ජනාධිපතිතුමාට පමණයි. කථානායකට කිසිම බලයක් නැහැ පාර්ලිමේන්තුව කැඳවීමට.

කරු ජයසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවෙලා කියනවා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා. එතුමාට ඒකට කිසිම බලයක් නැහැ. පැහැදිලිවම පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 වැනිදාට. දැන් කථානායක 7 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවනවා කියලා අර්බුදයකට යන්නේ. එතුමා දිගින් දිගටම කටයුතු කළේ රට වෙනුවෙන් නෙවෙයි අගමැතිවරයා පිනවීම සඳහායි. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් පමණයි.


පාර්ලිමේන්තුව රැස්වෙන දවසට අපි පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්තිය පෙන්වනවා. ඒ තත්ත්වය තුළ විශ්වාසභංග යෝජනාවක් පරාජට පත් කිරීමට අපිට අපහසු වන්නේ නැහැ.

 

ඉෂාරා සිල්වා

 

මූලාශ්‍ර