Responsive image
English site
English site

දිනය: 10-09-2018 | වේලාව: පෙ.ව 09:13 | 33

විදේශ රැකියාවලට යන්නන්ට අදාළ නීති රීති ලිහිල් කරන්නේ ඒජන්සිකරුවන්ගෙන් සල්ලි ගන්න

රටේ විදේශ සේවා ඇමැතිවරු ඒජන්සිකරුවන්ගේ පගාව ගසා ගැනීමේ අරමුණින් රටේ නීති ලිහිල් කරන බවට එතෙර අපි සංවිධානයේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

හඳුන්නෙත්ති මහතා පැවැසුවේ  විෂය භාර ඇමැතිවරුන් අමාත්‍යාංශ කටයුතු මෙහෙයවන්නේ ඒජන්සිකරුවන්ට අවැසි පරිදි බවය.

ඒ අනුව විදේශගත වන විට සකස් කර ඇති පවුල් වාර්තාව අහෝසි කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඊට මුළු කැබිනට් මණ්ඩලයම විරුද්ධ විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු පමණක් නොව රටේ වැඩිහිටි ජනගහනය ගැන, ආබාධිත පුද්ගලයන් ගැන හෝ කිසිදු දත්තයක් රාජ්‍ය ආයතනවල නොමැති බවත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් කර ඇති ඉල්ලීම් පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය අය-වැයට පෙර දැනුම් දිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ ඊයේ (9දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා,

විදේශ රැකියා අමාත්‍යාංශයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අද අරාජික ආයතන බවට පත්වෙලා. ආණ්ඩුවේ බල අරගලය නිසා ඇමැතිවරයාගේ පුටුව නියෝජ්‍ය ඇමැතිවරයා අත්පත් කරගෙන. අමාත්‍යාංශයේ බිල්ඩිම තියෙන්නේ නියෝජ්‍ය ඇමැතිගේ භාරයේ. ඇමැතිවරයාගේ කටයුත්ත හරියට කෙරෙනවාද කියලා සැකයක් තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඉල්ලා අස්වෙලා. සභාපතිගේ වැඩ බලන්නේ අධ්‍යක්ෂවරයෙක්. මේ තත්ත්වයන් තුළ එම ආයතනවලින් අවශ්‍ය කටයුතු නොකෙරෙන තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

මේ දිනවල විශේෂ මාතෘකාවක් බවට පත්වෙලා තිබෙන්නේ කාන්තාවන් විදේශගත වන විට සකස් කරන පවුල් වාර්තාව අහෝසි කරන්න ආණ්ඩුව සූදානම් වන එක. එම පවුල් වාර්තාව ග්‍රාම සේවකගේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සකස් කොට අනුමැතිය ලබාගන්නවා. අවුරුදු පහට අඩු දරුවන් සිටීම, විදේශ රටකට රැකියාව සඳහා යෑමට සුදුසුද යන්න පිළිබඳව එම වාර්තාවේ විස්තර අඩංගු වෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවසර ලබාදෙන්නේ එම වාර්තාවට අනුවයි.

මෙම පවුල් වාර්තාව නිසා කිරි දරුවන් සිටින අම්මලා විදෙස් ගතවීම වැළකුණා. පවුල් ආරවුල් ඇතිවීම වැළකුණා. නමුත් රටකට ඕනෑ අපමණ අගයක් කියාල හදපු ආණ්ඩුව කිරි දරුවන්ට අම්මලාගේ අගය නැති කරන විදියේ නීති සම්පාදනය කරනවා. පවුල් වාර්තාව අහෝසි කරලා ඕනෑම කාන්තාවක් රට යවන්න තැරැව්කරුවන්ට හා ඒජන්සිකුවන්ට ඉඩ හදලා දෙන්නයි විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නේ.

රටකට අපමණ අගයක් ඕනෑ කිය නායකයන් කිරි දරුවන් ඉන්න අම්මලා රට යවන්න හදන ප්‍රතිපත්තිය මොකක්ද? කිරි අම්මලා රට යවලා හදන ආර්ථිකය මොකක්ද? සිංගප්පූරු ගිවිසුම අස්සන් කරලා පිටරට මෑන් පවර් කොම්පැනිවලට පවා මෙරටට එන්න ඉඩ හදන ආණ්ඩුව අපේ රටේ කිරි දෙන මවුවරුන් පවා රට යවන්න හදනවා.

මේවා සිදුවෙන්නේ ඒජන්සිකරුවන්ගේ බලපෑම්වලට අනුවයි.ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ නූතන වහල් සේවයක් හදන්නයි. පවුල් වාර්තාව අහෝසි කිරීමට එරෙහිව ළමා කාන්තා කටයුතු ඇමැතිනි බුද්ධ ශාසන ඇමැතිවරයා, අධිකරණ ඇමැතිනි (හිටපු විදේශ සේවා ඇමැතිනි) කැබිනට් එකේ අදහස් පළ කළා කියලා වාර්තා වෙනවා. නමුත් අපි කියන්නේ කැබිනට් එක විදියටම මෙම ක්‍රියාමාර්ගයට එරෙහි විය යුතුයි කියලා. පවුල් විනාශ කරලා ලැබෙන විදේශ විනිමය ගැන පමණක් හිතන එක රටකට ඕනෑ අපමණ අගයක් කියන පාඨයට ගැළපෙන්නේ නැහැ.

අපි බොහෝ අවස්ථාවල අවධාරණය කොට තිබෙනවා වෘත්තීයමය නිපුණත්වය සහතිව රැකියාවලට ශ්‍රී ලාංකිකයන් යැවිය යුතුයි කියලා. නූතන වහල් සේවය වෙනුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙලා වෘත්තීයමය හැකියාව තිබෙන හෙදියන්, විදෙස්ගත කළ හැකියි. ඔවුන්ට විශේෂ ඉල්ලුමක් තිබෙනවා. විශේෂ පුහුණුවක් ලබාදීලා සහතිකයක් ලබාදීලා වෙනම බඳවාගැනීම් කරලා හෙදියන් විදෙස් ගත කළ හැකියි.

ඒ වගේම උසස් පෙළ සමත් විශාල පිරිසක් රැකියා නැතිව විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඔවුන්ට පුහුණුවක් ලබාදී ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කර ආණ්ඩුවෙන් ලබාදෙන එන්.වී.කිව්. සහතියක් සමඟ විදේශ රැකියා සඳහා අවස්ථා හදන්න හැකියාව තිබියදී ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.
මීට අමතරව විදේශ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන ගැටලු ගණනාවක් තිබෙනවා.

අනුරාධා හේරත්

මූලාශ්‍ර