Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: ප.ව 01:02 | 34

විවාහයට අවුරුද්දයි රොෂාන් රිද්මාට හොරෙන් කරපු දේ

රිද්මාගේ උපන් දිනයට රොෂාන් සප්‍රයිස් පාටි එකක් දුන්නා කියලා ආරංචියි

ඔව්. මීට මාස දෙකකට කලින් ඉඳන් රොෂාන් අයියා කිය කියා හිටියා මගේ උපන් දිනය ළඟයි නේද කියලා. මම ඒක ඉතිං ඒ තරම් ගණන් ගත්තේ නෑ. උපන් දිනයට කලින් දවසේ එයා මට කිව්වා උපන් දිනය දවසේ ඩිනර් එකකට යන්න ලස්සන ඇඳුමක් ලෑස්ති කරගන්න කියලා. උපන් දිනය දවසේ උදේ පන්සල් ගිහින් ඊට පස්සේ ඩිනර් එකට යන්න මම ලෑස්ති වුණා. ඩිනර් එකට යද්දි මට හුරුපුරුදු මුහුණු එතැන ඉන්නවා දැක්කා. රොෂාන් අයියා ගොඩක් අයට එන්න කියලා මං වෙනුවෙන් සප්‍රයිස් පාටි එකක් සූදානම් කරලා.
මම ඇත්තටම පුදුම වුණා. හරිම සතුටක් මට දැනුණේ.

රොෂාන් රිද්මාට හොරෙන් මේ තරම් දෙයක් කරනකල් යන්තම්වත් දැනුණේ නැද්ද?

නෑනේ. එයා හැමදේම මට හොරෙන් තමයි සූදානම් කරලා තිබුණේ. මම එයා කරන හැමදේම දන්නවා. හැබැයි මට මේ දේ දැනුණේ නැහැ. එයා ෂූටින් යන එන වෙලාවට තමයි මේ හැමදේම සූදානම් කරලා තියෙන්නේ. එයා පුදුම විදියට පසුගිය ටිකේ කාර්යබහුල වුණා. බලනකොට මේ වැඩේට තමයි එයා ඒ තරම් මහන්සි වෙලා තියෙන්නේ.

රිද්මයි රොෂානුයි පෙම්වතුන් විදියට හිටපු කාලේවත් මේ වගේ පුදුම කිරීමක් කරලා තිබ්බේ නැද්ද?

නැහැ. අපි යාළුවෙලා හිටපු කාලේ එයා අපේ ගෙදර යනවා එනවා හරි අඩුයි. ඒ කාලේ මම එළියට ගියත් කවුරු හරි ගෙදර කෙනෙක් මාත් එක්ක එනවා. අපි දෙන්නා ෆෝන් එකෙන් තමයි ගොඩක් ආදරේ කළේ.

දැන් විවාහ වෙලා අවුරුද්දකුත් වෙලා නේද?

අපි විවාහ වුණේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වැනිදා. ඒ මගේ උපන්දිනය දවසේමයි. මම හරි ආසාවෙන් හිටියා අපි විවාහ වෙන දවස මතක හිටින දවසක් වෙනවට. ඉතිං මගේ උපන්දිනය දවසේ විවාහය සිද්ධ කරන්න රොෂාන් අයියත් කැමැති වුණා. දැන් අපේ විවාහ ජීවිතයට අවුරුද්දයි.

රිද්මාට රොෂාන්ගෙන් ලැබුණු ආදරය දැන් අඩු වෙලාද, වැඩි වෙලාද?

එයා මට තිබ්බ ආදරය ඉස්සරට වඩා දැන් වැඩි වෙලා. එයාගේ ආදරේ දැන් මට වැඩිපුර දැනෙනවා. එයා ගොඩක් ආදරේ හිතුණාම මගේ යටිපතුල කිස් කරනවා. කවදා හරි මම එයාගේ දරුවන්ගේ අම්මා වෙන නිසා එයා මට පුදුම ආදරයක් ගෞරවයක් දක්වන්නේ.

දැන් රොෂාන් එක්ක වැඩිපුරම කාලය ගත කරන්නේ රිද්මානේ. රොෂාන් සැබෑ ජීවිතේ කොයි වගේ කෙනෙක්ද?

රොෂාන් අයියා හරියට පොඩි ළමයෙක් වගේ. එයා එළියට ගියාම අනෙක් අය එක්ක වැඩිපුර කතා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ගෙදරදි එයා තමයි වැඩිපුර කතා කරන්නේ. මම කරන්නේ එයා කියන ඒවා අහගෙන ඉන්න එක. රොෂාන් අයියා ආගමට හරි ළැදියි. ෂූටින් යන්න කලින් බුදු පහන පත්තු කරලා භාවනා කරනවා. හරිම ආදරණීය චරිතයක් එයා.

කාර්යබහුලකම නිසා රොෂාන් පවුලේ වැඩකටයුතු, වගකීම් අතපසු කරන්නේ නැද්ද?

නැහැ. එයා එයාගෙන් වෙන්න ඕන හැම යුතුකමක්ම ඉෂ්ට කරනවා. උයන පිහන වැඩකටයුතුවලදි වුණත් එයාගෙන් ලොකු උදව්වක් ලැබෙනවා. මම අසනීප වුණොත් එහෙම එකම ඩොක්ටර් ළඟට කිහිප සැරයක් එක්කගෙන යනවා. එයා මට පුදුම ආරක්ෂාවක් දෙන්නේ. එයා සියයට කෝටියක් හොඳ සැමියෙක්.

ඒ කියන්නේ රොෂාන් රිද්මා වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරලා.

ඔව්. අපි විවාහ වුණාට පස්සේ එයා වැඩ කරන එකත් අඩු කරලා. එයා මගෙන් ඇහුවා වැඩවලින් අෑත්වෙලා මටම කාලය දීලා ඉන්නද කියලත්. ඒත් මම කිව්වා "එහෙම කරන්න එපා. දිගටම වැඩ කරන්න" කියලා. එයා කොච්චර කාර්යබහුල වුණත් මං ගැන හොයලා බලනවා.

රොෂාන් වෙනත් රංගන ශිල්පිනියන් එක්ක රඟපාද්දි රිද්මාට ඊර්ෂ්‍යාවක් දැනිලා නැද්ද?

නැහැ. මොකද මම ක්ෂේත්‍රයේ ඉන්න අයව හඳුනනවා. රොෂාන් අයියටත් හැමෝම ආදරෙයි. ගොඩක් අය අපට හොඳින් ඉන්න කියලා ආශීර්වාද කරනවා. එයාලගෙන් අපට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා මම දන්නවා. අපි ආදර්ශවත් විදියට ඉන්නවා කියලා රංගන ශිල්පිනියන් ගොඩක් අපට ආශීර්වාද කරනවා. ඒ නිසා මට බයක්වත්, ඊර්ෂ්‍යාවක්වත් නෑ.

බොහෝ අය ඔය දෙන්නට ආශීර්වාද කළාට විවාහ වෙද්දි ඔය දෙන්නට සමහරුන්ගෙන් විවේචන එල්ල වුණා නේද?

රොෂාන් අයිය ප්‍රසිද්ධ කෙනෙක්නේ. එයා වටා ඉස්සර හිටපු සමහර පුද්ගලයෝ එයාලට ආපු සමාජ ප්‍රශ්නත් එක්ක අපට මඩ ගහන්න ගත්තා. අපි විවාහ වෙලා හොඳට ඉන්නකොට ඒ ජීවිත නොලැබුණු අයට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවනේ. එහෙම ඊර්ෂ්‍යාවක් ආවේ නැත්නම් පුදුමයි. ඒ ඊර්ෂ්‍යා කරපු කීප දෙනෙක් තමයි වෙබ් සයිට්වලට සල්ලි දීලා අපට මඩ ගැහුවේ. මම කසාද බැඳපු කෙනෙක් කිව්වා. ළමයින්ව දාලා ආපු කෙනෙක් කියලා කිව්වා.

ඒත් මම විවාහ වෙද්දි මට අවුරුදු 23යි. ඒ වයසෙදි මට ඒ තරම් දේවල් කරන්න පුළුවන්ද? පල ඇති රුකටනේ ගල් ගහන්නේ. අපි ඒ අයට බනින්න ගියේ නෑ. කර්මය කැරකිලා එනවනේ. ගොඩක් අය පස්සේ ඇත්ත තේරුම් ගත්තා.

දැන් රිද්මාටත් රංගනයට අවස්ථාව ලැබිලා නේද?

ඔව්. ජයශංඛ කියලා ගායකයකුගේ විෂුවල් එකට මමයි රොෂාන් අයියයි දෙන්නම සම්බන්ධ වුණා. මම විෂුවල්වලට සම්බන්ධ වෙන්න ඒ තරම් කැමැති නැහැ. ඒත් රොෂාන් අයියත් එක්ක සම්බන්ධ වෙන්න තිබ්බ නිසා කැමැත්තෙන් කළා. තව ඉන්ද්‍රචාපා කියන ටෙලි නාට්‍යයට සහ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. තවත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී පටන් ගන්නවා.

රිද්මාට දැන් රංගන අවස්ථා වැඩිවෙලා තියෙන්නේ ඔබ රොෂාන්ගේ බිරිය නිසාද?

2015දී මම ලියා කුමරිය වුණා. 2016දී මම ක්ලීන් ඇන්ඩ් ක්ලියර් කුමරිය වුණා. ඊට පස්සේ මට රංගනයට ගොඩක් අවස්ථා ලැබුණා. නමුත් මම භාර ගත්තේ නෑ. විවාහයට කලින් මම රූනිගේ විෂුවල් එකක හිටියා. රංගනය ගැන මට ඒ තරම් ආසාවක් තිබුණේ නැහැ.

විවාහයෙන් පස්සේ ආරාධනා ලැබෙද්දි වුණත් මම බෑ කියද්දි රොෂාන් අයියා කිව්වා ඒවට සම්බන්ධ වෙලා බලන්න කියලා. මම කවි, සින්දු ලියනවා. මට ලියන්න හැකියාවක් තියෙන නිසා ඒවා වර්ධනය කරගන්න කියලා රොෂාන් අයියා කිව්වා. එයාම මාව දමයන්ති ෆොන්සේකා අක්කගෙයි ප්‍රසන්න අයියගෙයි ක්ලාස් එකට දැම්මා. මම ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. රොෂාන් අයියාව විවාහ කරගත්ත නිසා නෙවෙයි මට රඟපාන්න ලැබුණේ.

රංගනයේදී වුණත් රිද්මාට තෝරා ගැනීම් තියෙනවාද?

ඔව්. මම චරිත තෝරලා බේරලා කරන්නේ. මම විවාහ වුණ කෙනෙක් කියන දේ ඔළුවේ තියාගෙන මම වැඩ කරන්නේ. ප්‍රසිද්ධියවත්, සල්ලිවත් මට අවශ්‍ය නැහැ. වෙනස් හොඳ දෙයක් කරන්න මට ඕන. මගේ ජීවිතේ අංක එක පවුල. ඒ ගැන හිතලා තමයි මම නිර්මාණ භාර ගන්නේ.

රිද්මාත් රොෂාන් වගේ රංගනයට කාර්යබහුල වෙයිද?

මම ගොඩක් ආස ගෙදර ඉන්න. මට බයයි මගේ ජීවිතේ කොතැන හරි මට මඟහැරෙයි කියලා. රොෂාන් අයියා ගෙදර ඉද්දි මට එයාව දාලා ෂූටින් යන්න අමාරුයි. මගේ පපුව පිච්චෙනවා වගේ. ඒ නිසා එන වැඩ හිතලා බලලා තමයි භාර ගන්නේ.

රිද්මාගෙයි රොෂාන්ගෙයි කැදැල්ලට දැන්ම පුංචි අමුත්තෙක් ගේන්න අදහසක් නැද්ද?

මගේ මමිත් දැන් මට කියනවා බබෙක් බලන්න ආසයි කියලා. රොෂාන් අයියගේ පවුලේ අයත් අහනවා ඒ ගැන. ඒත් තාම ඒකට මගේ වයස අඩුද කියලත් හිතෙනවා. ලබන අවුරුද්ද වගේ වෙද්දි බබෙක් හදන්න හිතනවා. රොෂාන් අයියයි මමයි බබාලට ගොඩක් කැමැතියි. එයා හැමතිස්සෙම කියන්නේ එයාට මං වගේ දුවෙක් ඕන කියලා. මට ඕනේ එයා වගේ පුතෙක්. කොහොම වුණත් අපි බබාලා තුන් හතර දෙනෙක්ම හදයි.

තිළිණි කෞශල්‍ය විජේසිංහ

 

මූලාශ්‍ර