Responsive image
English site
English site

දිනය: 08-02-2019 | වේලාව: ප.ව 02:15 | 109

වෙරලේ සුරගන

එදා නත්තල් දවසට පහුවදාය. ටිලී ස්මිත් ඒ නත්තල ගත කළේ වෙනදා මෙන් එංගලන්තයේ ඇගේ නිවසේ නොවේ. තායිලන්තයේ වෙරලාසන්න හෝටලයකය. තායිලන්තයේ ගත කරන නිවාඩුව ටිලීට අම්මාගෙනුත් තාත්තාගෙනුත් ලැබුණ තෑග්ගකි. හිමෙන් වැසුණු සීිතල එංගලන්තයේ සිට නත්තල ගත කරනවාට වඩා ඉර එළියෙන් නැහැවුණු තායිලන්යේ මායි කාවෝ වෙරල තීරයේ නත්තල් කාලය ගත කරන්නට ටිලී බෙහෙවින් කැමති වූවාය. නත්තල් දාට පහුවදාත් පාන්දරම අවදි වී වෙරලේ ඇවිදින්නට යන්නට ටිලීිට ඕනෑ වූයේ ඒ නිසාය.
ඒ වන විට ටිලීගේ වයස අවුරුදු දහයකි. කුඩා වුවත් ඇය දක්ෂ, බුද්ධිමත් විමසිලිමත් දැරියකි.
ටිලී ඇගේ අම්මාත් තාත්තාත් පුංචි නංගී, හොලීත් සමග පාන්දරම වෙරලේ ඇවිදින්නට ගියාය. කලින්දා දුටුු තද නිල් පාට අහසවත්, රන් පාට හිරු එළිියවත් දකින්නට නොවීය. අහසම අදුුරු වී ගොසිනි. වැස්සක් එන්නට ඔන්න මෙන්න වාගේ අහස බුම්මාගෙන උන්නේය.
වෙරලෙහි වෙනදා මෙන්ම සංචාරකයෝ සිය ගණනක් වූහ. ඒ අතරින් ටිලීත් හොලීත් අම්මාත් තාත්තාත් ඇවිද ගියහ. ඒ යන අතරේදී ටිලී පුරුදු පරිදි විමසිලිමත් දෑසින් හැම දෙයක් දෙසම බැලුවාය.
කලින් දාට වඩා වැල්ලෙහි ජල මට්ටම වැඩිය. රළ ගොඩබිමට ඇදී එනු මිස ආපසු යාමක් නැත. මුහුදු වතුරෙහි වෙනදා නැති පෙණ ගතියක් තිබිණ.
ටිලීට හුරු පුරුදු ගතියක් දැනිණ.
“මං කොහෙදිදෝ මේක දැකලා තියෙනවා..” ටිලී සිතුවාය. එහෙත් ඒ කොහේදීදැයි ඇයට මතක් වෙන්නේම නැත. ඒ මදිවාට ඇගේ සිතට දැනෙන්නේ මහා අමුතු නොසන්සුන් ගතියකි. මොකක්දෝ නරකම දෙයක් සිදු වෙන්නට යනවාක් මෙන් හැගීමකි.
ඇය අම්මාගේ අතින් ඇද්දාය. “අම්මේ.. මොකක්දෝ වෙන්න යනවා.. අපි ආපහු යමු..” ඇය අම්මාට පෙරැත්ත කලාය.
“එහෙම දෙයක් නෑ දරුවෝ.. අද කාළගුණය හොද නෑ.. එච්චරයි..” අම්මා ටිලීව අස්වැසුවාය.
“මට ඇවිදින්න බෑ.. අපි ආපහුු යමු අම්මේ...” ටිලී දිගින් දිගටම ඇවිටිලි කළාය.
අම්මාත් තාත්තාත් ටිලීගේ ඇවිටිල්ල ගණනකට ගත්තේ නැත. ටිලී අකමැත්තෙන් ඔවුන් පසුපස ඇවිද ගියාය. අර නුහුරු අමුතු හැගීම දිගින් දිගටම ටිලීගේ හිතට වද දුන්නේය.
හදිසියේම ටිලී දිය මත වූ යමක් දුටුවාය. ඒ වතුරේ පාවෙමින් තිබුණු ලී කොටයකි. ලී කොටය තිබුණේ නිකම්ම වතුරේ පා වෙමින් නොවේ. එය වතුරේ හෙමින් කැරකෙමින් තිබිණ. මේ තරම් වෙලා වෑයමින් මතක් කරන්නට උත්සාහ කල දෙය ටිලීට මතක් විය.
ඒ මුහුදේ මේ ස්වරූපය මින් පෙර ඇය දුටු තැනය.
ඒ වීඩියෝවකි. ඒ වීඩියෝව පෙන්නුවේ ටිලීගේ පාසැලේ පන්තියේ භූගෝල පාඩමටය. භූමිකම්පාවක, සුනාමියක පූර්ව ලක්ෂණ පිලිබදව ඒ කළ පාඩමේදී ටිලීගේ ගුරුවරිය විසින් සිසුන්ට පාඩම පැහැදිලි කිරීම සදහා හවායි දූපත් වල ඇතිවුණු සුනාමියක් ගැන වීඩියෝවක් සිසුන්ට පෙන්වූවාය. ටිලී මේ මුහුදු ස්වභාවය මින් පෙර දැක තිබුනේ ඒ වීඩියෝවෙනි.
මුහුද මේ පෙන්වන ලකුණු සුනාමියක ලකුණුය. තව ටිකකින් මහා විනාශයක් සිදුවනු ඇත.
ටිලී මහ හඩින් කෑ ගසන්නට වූවාය.
“අපි ආපහු යමු.. සුනාමියක් එන්න යන්නේ.. අපි යන්න ඕන.. හැමෝම යන්න ඕන..” ටිලී කෑ ගසන්නට වූවාය.
ඒ වන විට සුනාමියක් යනු කෙබදු දෙයක්දැයි එහි උන් බටහිර රටවල සංචාරකයින්ට අවබෝධයක් තිබුණේ නැත. ඒ නිසා ටිලීගේ හැසිරීම ගැන කිසිවෙකුත් ගණනකට ගත්තේ නැත. වෙන කිසිවෙකු තියා ටිලීගේ අම්මාත් තාත්තාත් ඒ කතාව ගණනකට ගත්තේ නැත.
“හිතුවක්කාර වෙන්නෙ නැතුව යං දරුවෝ.. ටිකක් ඇවිදලා ආපහු හෝටලේට යමු..” කියමින් අම්මා ඉදිරියට ඇවිද ගියාය.
විලීගේ කෑ ගැසීම නිසා විලීගේ නංගීත් හඩන්නට පටන් ගත්තාය.
“මෙයා අඩනවනේ.. මං මෙයාව හෝටලේට එක්කගෙන යන්නං..” කියූ තාත්තා නංගීවත් රැගෙන ආපසු යන්නට වූයේය.
“අපිත් යමු අම්මේ.. මෙතන හිටියොත් අපිට මැරෙන්නයි වෙන්නේ..” ටිලී නොනවත්වා කෑ ගැසුවාය. අම්මා එයද ගණනකට ගත්තේ නැත.
ටිලී ආපසු හැරී හෝටලයට යමින් උන් තාත්තා පසුපස දිව්වේ අවට උන් අයටද කෑ ගසමිනි.. මිනිස්සු ඇය දෙස බලන්නට වූහ. සුනාමියක් යනු කුමක්දැයි ඒ වන විට ඔවුන්වත් ටිලීගේ දෙමාපියන්වත් අසා තිබුණේවත් නැත.
ටිලීට අම්මාව වෙරලේ දමා යන්නට හිත දුන්නේ නැත. ඇය මගින් මගටම නතර වෙමින් අම්මාට කෑ ගසා කතා කලාය. අම්මා ඒ කෑ ගැසීම ගණනකට නොගෙන දිගටම ඇවිද්දාය. තව ටිකක් හෝටලයට ලගා වෙද්දී ටිලීගේ තාත්තාට හෝටලයේ ආරක්ෂක නිලධාරියෙකු මුණ ගැසිණ. ඔහු ජපන් ජාතිකයෙකි. මේ කලබලය දැක ඔහු ඉදිරියට එමින් උන්නේය.
“අනේ සමාවෙන්න..” ටිලීගේ තාත්තා ඔහුගෙන් සමාව ඉල්ලුවේය. “මගේ දුව මොකක්දෝ දේකට කලබල වෙලා.. එයා එක දිගටම කෑ ගහනවා.. “සුනාමියක්” කියලා එකක් එනවා කියලා..”
ජපන් ජාතිකයින්ට නම් “සුනාමි” යන්න නුහුරු වචනයක් නොවේ. ඔහු පරික්ෂාවෙන් මුහුද දෙස බැලුවේය.
“මං හිතන්නෙ ඔයාගෙ දුව කියන දේ හරි.. ඉන්දියානු සාගරයේ භූ කම්පනයක් සිද්ධ වෙලා කියලා ප්‍රවෘත්ති වලටත් කිව්වා..” ජපන් ජාතික ආරක්ෂක නිලධාරියා කීවේය. “එන්න.. අපි මේ වෙරලේ මිනිස්සුන්ව අයින් කරන්න ඕන.. මට ඔයාලාගේ උදව් ඕන වෙනවා..” කියමින් ඔහු වෙරල දෙසට දිව්වේය.
“සුනාමියක් එනවා.. ඒ කියන්නේ මහ විශාල උදම් රලක් එනවා.. හැමෝම දුවන්න.. ගොඩබිම දිහාට දුවන්න.. හෝටලයට දුවන්න..” කියමින් ඒ ආරක්ෂක නිලධාරියා වෙරලේ මිනිසුන් ඉවත් කරන්නට වූයේය.
වෙරලේ උන් මිනිස්සු කෑ ගසමින් ගොඩබිම දෙසට දිවූහ.
තාත්තා සෙනග අතරින් ආපසු වෙරල දෙසට දුව යන අයුරු ටිලී දුටුවාය. ඇය සෙනග අතරින් දුවමින් ඔවුන්ව සෙව්වාය. මොහොතකින් අම්මාගේ අතින් ඇදගෙන දුවගෙන එන තාත්තාව ඇයට හමු විය.
වැඩි වේලා යන්නට කලින් වෙරළ මිනිසුන්ගෙන් හිස් විය. ඒ වන විට ටිලී උන්නේ අම්මාත් තාත්තාත් නංගීත් සමග හෝටලයේ උඩු මහලේය. උඩුමහලේ කවුළුවකින් මුහුද දෙස බැලූ ටිලී දුටුවේ මුහුදු රළ ආපසු ඇදී ගොස් වැල්ල නිරාවරණය වී ඇති අයුරුය.
ඉතින් තව මොහොතකින් එය සිදු වන බව ටිලී දැන සිටියාය. ඇය සිතූ ලෙසම එය සිදුවිය.
මහා ගෙරවුම් හඩක් සමග යෝධ කළු රැල්ලක් ඇදී විත් මුලු වෙරලම වසා ගත්තේය. එය වෙරලෙන් ගොඩට පැන අසුවන මානයේ වූ හැම දෙයක්ම විනාශ කරන්නට වීය.
ඒ 2004 දෙසැම්බර් 26 ඇතිවුණු සුනාමියයි. ඉතිහාසයේ බිහිසුණුම ස්වභාවික ව්‍යසනයයි. එයින් ඒ වන විට රටවල් දහතුනක වෙරලාසන්නයේ උන් මිනිසුන් 200,000 කගේ ජීවිත බිලිගත්තේය. එහෙත් එදා ටිලී උන් තායිලන්තයේ මායි කාවෝ වෙරල තීරයේ උන් කිසිවෙකුගේ ජීවිතය බිළිගන්නට සුනාමියට නොහැකි විය.
ඒ පුංචි ටිලීගේ විමසිලිමත් බවත්, උත්සාහයත් නිසාය.
ඒ දිනයේ ටිලී නිසා බේරුණු ජීවිත ගණන සියයකටත් අධිකය. ටිලීගේ විස්මිත කතාව ලොව පුරා මාධ්‍ය වලින් ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. බොහෝ අය ඇයව “වෙරළේ සුරගන” ලෙසින් හදුන්වන්නට වූහ. එක් ප්‍රංශ සගරාවක් විසින් ටිලීව “වසරේ දරුවා” ලෙසින් නම් කර තිබිණ. ඒ සගරාව විසින්ම ඇයට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටව මුණ ගැසෙන්නට එක්සත් ජාතීන්ගේ සමුළුව වෙතට ආරාධනා කොට තිබිණ. ඉන්පසුව එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත වරියක් ලෙසින් සුනාමි සහන සේවාවන්ට සහභාගි වෙන්නටත් ටිලීට හැකියාව ලැබිණ.
ඉන් වසර දහයකට පසු තායිලන්තයේ සුනාමි අනුස්මරණ වැඩසටහනකට පැමිණි ටිලී ස්මිත් “සන්” නාලිකාවේ මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට මෙසේ පිළිතුරු දුන්නාය.
“මම ආශ්චර්යමත් දරුවෙක් කියලා මට හිතෙන්නේ නෑ. ඒත් අපි ඒ නත්තල් නිවාඩුවට යන්න කලින් ඒ පාඩම ඉගෙනගෙන තිබුණ එකත්, ඒ පාඩම මට මතක තිබුණ එකත් හොදයි කියලා මට හිතෙනවා. ඒ වගේම මං වටපිටාව ගැන විමසිල්ලෙන් හිටපු එක ගැනත් මං සතුටු වෙනවා. ඒ සිදුවීමෙන් පස්සෙ අපි ආපහු අපේ රටට යන්න ගුවන් යානයට නැග්ගාම.. ගුවන්යානයේ හිටපු අයගෙන් ගොඩක් අය හිටියේ හරිම දුකෙන්. සමහර අය ඉකිබිදිමින් ඇඩුවා.. ඒක දැකපු එක ගුවන් නියමුවෙක් කිව්වා.. මේ සුනාමියෙන් තමන්ගේ පවුලේ කෙනෙක් නැතිවුණ අය අත උස්සන්න කියලා.. ගුවන්යානයේ හිටපු වැඩි දෙනෙකුගේ අත් එසවුණා.. ඒ වෙලාවේ මට හිතුණා.. මම විමසිල්ලෙන් හිටියේ නැත්තම්.. මේ අත් උස්සපු අය අතරින් මමත් එක්කෙනෙක් වෙනවා නේද කියලා.. මං නිසා තවත් කෙනෙකුට ඒ සැනසීමම දැනුණා නම් මට හරිම සතුටුයි..”

 

නිම්මි මුදිතා හේරත්
 

මූලාශ්‍ර