Responsive image
English site
English site

දිනය: 08-04-2019 | වේලාව: පෙ.ව 11:29 | 142

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී ප්‍රථම ගුවන් යානා ඉංජිනේරුවරිය

ලසන්ති චතුරිකා අැයගේ නාමයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ සිටි බලපත්‍රලාභී ප්‍රථම කාන්තා ගුවන් යානා ඉංජිනේරුවරිය වන්නේ අැයයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවයේ යෙදී සිටින අභිමානවත් කාන්තාවන් අතරින් මේ ලසන්ති සුවිශේෂී චරිතයක් වන්නේ බලපත්‍ර ලාභී ගුවන් යානා ඉංජිනේරු අංශයේ නිරත අනෙකුත් සියලුම දෙනා පිරිමි චරිත වෙද්දී එකම කාන්තා චරිතය ඇය වීමය.

කවුද මේ ලසන්ති? ඇයගේ සම්පූර්ණ නාමය වන්නේ තලහගම ලියන ආරච්චිගේ ලසන්ති චතුරිකාය. ඓතිහාසික කැලණිය පුරවරයේ දී උපත ලද ලසන්ති, ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ ප්‍රෙස්බෙටේරියන් බාලිකාවෙනි. පහේ ශිෂ්‍යත්ව කඩඉම සමත් වූ ඇය ඉනික්බිතිව උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙනි.
ඇය කුඩා කාලයේ දී මොන වගේ චරිතයක් වී ද?

“පවුලේ වැඩිමහල් දරුවා මම. පවුලේ අම්මයි තාත්තයි මමයි නංගියි විතරයි.

ප්‍රාථමික පන්තිවල සිටියදී අතිවිශේෂ දක්ෂතා කියලා විශේෂිතම දක්ෂ චරිතයක් වුණෙත් නැහැ. හැබැයි ගණිත විෂයට කුඩා කාලයේ ඉඳලාම මට තිබුණේ වැඩි කැමැත්තක්.
මේ ලෙසින් කුඩා කාලයේ සිටම ගණිතයට දක්ෂ වූ ලසන්ති පාසලේදී විෂය කටයුතුවලට වගේම සමාජයීය කටයුතුවලට ද දායකත්වය ලබා දුන්නාය. පාසල් බෞද්ධ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක වූ ඇය චෙස් ක්‍රීඩාවේ නියැළී සිටියාය. එලෙසින් පාසල් අධ්‍යාපනයේ නියැළී සිටි ඇය ජ්‍යෙෂ්‍ඨ ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කළ බව ද සඳහන් කරන්නීය.
ඉනික්බිතිව උසස් පෙළ සමත්ව ඇය සරසවි අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලැබුවේ ජයවර්ධනපුර සරසවියේ ව්‍යවහාරික පීඨය වෙතය. ලසන්තිගේ ජීවිතය හැරවුමකට ලක් වූයේ ද මෙකී කාලයේදීය.

ඉංජිනේරුවරියක කිව්වාම මොරටු කැම්පස් එකට ගිහින් සිවිල් ඉංජිනේරුවරියක වෙනවා කියන සම්ප්‍රදායික අදහස තිබුණට ගුවන් යානා අංශයේ ඉංජිනේරුවරියක වෙනවාය කියන අදහස තිබුණේ නැහැ. ඒ අදහස මට ආවේ උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිය කාලය අතරතුරේදියි. එදා ඊට අයදුම් කර තිබියදී සරසවි ප්‍රවේශයටත් තේරී තිබුණා.
පසුව සරසවි ප්‍රධානීන්ගේ අවසර ඇතිව ප්‍රවේශය සඳහා වසරක් ඉදිරියට කල් ඉල්ලා ගෙන ශ්‍රී ලංකන් ආයතනයේ පුහුණු තාක්ෂණ පාසලට ඇතුළත් වුණා. මගේ ජීවිතයේ හැරවුම පටන් ගත්තේ එතැනින්.”

‘ලසන්ති කොහොම ද එතකොට ඔබ ගුවන් යානා ඉංජිනේරු අංශයේ පුහුණුව ලැබුවේ?’ ඒ පැනය අප ඇයගෙන් විමසුවේ, මෙම ක්‍ෂේත්‍රයට ඒමට අපේක්ෂා කරන බොහෝ තරුණියන්ට මඟපෙන්වීමක් වන බැවිනි.

“ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසලේ ගුවන් යානා නඩත්තු පාඨමාලාව සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් අයදුම්පත් කැඳවනවා. එය පුවත්පත් දැන්වීම් මගින් පළ කර තිබුණා. උසස් පෙළ සුදුසුකම්වලට අදාළව ඊට අයදුම් කළ යුතුයි. එදා මා ඊට අයදුම් කළා. ඒ අතරින් එදා දහසක් පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරාගෙන තිබූ අතර ඔවුනට විභාග දෙකකට පෙනී සිටීමට සිදු වුණා.

 

ඒ දහසක් පමණ සිසු සිසුවියන් අතරින් තෝරා ගත්තේ 100 දෙනෙක් විතරයි. ඒ සියදෙනා අතරට මාත් ඇතුළත් වුණා. පුහුණුව පටන් ගත්තේ වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වීමෙන් අනතුරුවයි.”

එලෙසින් 2007 දී ශ්‍රී ලංකන් ගුවන් පුහුණු තාක්ෂණ පාසලට (අැකඩමියට) බැඳුණු ලසන්ති 2009 දක්වා එහි සිට පුහුණුව ලැබුවාය. ඉනික්බිතිව 2009 වසරේදීම එහි රැකියාව ලබා ගැනීමට තරම් ඇය වාසනාවන්තියක වූවාය. ඇය ජ’පුර සරසවියේ උපාධිය නිම කළේ රැකියාව කරන අතරතුරේදීමය. එය වචනයෙන් කීමට වඩා ඉතා අසීරු කටයුත්තක් විය.
එක් අතෙකින් තාක්ෂණය සහ යාන්ත්‍රික කටයුතු වෙනුවෙන් මනස සහ දෑත යොමු කළ ඇය තවත් විටෙක පාඩම් කටයුතු සඳහා එලෙසින්ම කැප වූවාය. ජීවිතය ඇය පළමුවෙන්ම දැනෙන්නට මුහුණ දුන් අභියෝගය උසස් පෙළට මුහුණ දීම ද? නැත්නම් කුමක් ද?

“සාමාන්‍ය පෙළට පාඩම් කළ බව ඇත්ත. ඉන් පස්සේ සාමාන්‍ය පෙළ සමත් වුණාම උසස් පෙළ කරන්න පටන් ගත්තා. ජීවිතේ ලොකුම අභියෝගය එය නේද කියලා දැනුණෙ එවිටයි. එතැනින් එහාට මම කොහේට ද යා යුත්තේ කියන අභියෝගය එක්ක ජීවිතයට දැනෙන්න පටන් ගත්තා. ඒ අභියෝගයට මුහුණ දුන්නේ කාලය කළමනාකරණය කර ගනිමින්. ඒ වගේම ජීවිතය ජය ගන්න නම් උසස් පෙළ සමත් වෙන්නම ඕනෑ කියලා විශ්වාස කළා. ඒ අරමුණ දරාගෙන අනෙක් සියලු දේ ගැන හිතන්නේ නැතුව උසස් පෙළ ගැන හිතන්න පටන් ගත්තා. ඉගෙන ගන්න කාලයේදී තමාගේ අරමුණ මුලින්ම හඳුනා ගන්නට ඕනෑ. ඉන් පසුව තමුන් විසින්ම සැලසුමක් හදා ගැනීම අවශ්‍යයි.

තමන්ට තියෙන අභියෝගය අනුව ඒ සැලසුම සකස් කරගන්න පුළුවනි. ඇත්තටම කිව්වොත් අභියෝගයක් සහ සිහිනයක් විතරක් තිබිලා වැඩකුත් නැහැ. ඊට කැපවීමක් තිබීම වගේම කාලය කළමනාකරණය කරගත යුතුමයි. ඒ වගේම පාසලේදී තමන්ට හැකි විදියට බාහිර ක්‍රියාකාරකම්වල යෙදීම හරිම වැදගත්. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක වීම නිසා මට ජීවිතයට ලැබුණේ හොඳ පළපුරුද්දක්. එදා ලද ඒ අත්දැකීම් අද කරන රැකියාවටත් උපකාරි වී තිබෙනවා.”

ලසන්ති ඇයගේ පාසල් අධ්‍යාපනය එදා ලස්සන කරගත්තේ එලෙසින්ය. අධ්‍යාපනයට වගේම එදා ඇය ගෙදර දොර වැඩ කටයුතුවලට ද උදව් වූ අතර කාර්මික අංශයේ වැඩ ගැන ද උනන්දු වූ බව සිහිපත් කරන්නීය

සාමාන්‍ය පෙළට විෂයයක් හැටියට ඉලෙක්ට්‍රොනික හා ගුවන්විදුලි තාක්ෂණය කර තිබීම නිසා විවිධ අත්හදා බැලීම් කිරීමේ ආසාවකුත් තිබුණා. එම විෂයයට අදාළව ප්‍රායෝගික වැඩවලදී අපි පරිපථ එහෙමත් නිර්මාණය කළා. උසස් පෙළට​ භෞතික විද්‍යාව කළ නිසා ඒ අංශයේ සෙවුම් ගැන ආසාවකින් හිටියේ.”

ලසන්ති ගුවන් යානා පුහුණු පාසලේ පුහුණුවට එක් වූයේ එවැනි ප්‍රායෝගික වූ දේ ජීවිතයට සමීප කරගෙනය. එදා ඇය පුහුණුව ලැබීම සඳහා එන විට ඊට පෙර කිසිදාක ගුවන් ගමනක් ගොස් නොතිබිණි.

“ගුවන් යානයක ඇතුළත ඊට පෙර මම දැකලා තිබුණේ නැහැ. පුහුණු කාලයේදී අපට බොහෝ අත්දැකීම් ලබා ගැනීමේ අවකාශය සලසා තිබුණා.”

එසේ පවසන ලසන්ති ගුවන් යානා අංශයේ නඩත්තු ඉංජිනේරුවරියක වූයේ 130ක් පමණ වූ අනෙකුත් සියලු දෙන​ා පිරිමි චරිත වූ පරිසරයකදීය.

එහෙව් වූ ඇයගේ ප්‍රේමය හමු වූයේ ද මේ කලාපයේදීමය.

ජීවිතයේ සියලු දේ පසු පසෙක තබා ආදරය හඹා යන චරිත බොහොමයකට සිදුවන්නේ තමුන්ගේ අභිප්‍රායයන් සපුරා ගැනීමට නොහැකි වීම වග ඇය දැන සිටියාය. ඇය එලෙසින් ප්‍රේමයට අවතීර්ණ වූයේ දැනුම් තේරුම් ඇති වයසට පත්වූ විටය. ඔහු දැන හඳුනා ගත්තේ ද ගුවන් යානා පුහුණු පාසලේදීමය. ඔහු ද ගුවන් යානා අංශයේ ඉංජිනේරුවරයෙකි. ඔහු නමින් තරිඳු ගුණසිංහය. නිසි කලට නිසි ලෙසට අවැසි දේ කළ නිසා ඔවුනගේ ජීවිත අරුත්බර වී ඇති බැව් සඳහන් කළ යුතු වේ. අද අමේ යුවළට දරුවන් දෙදෙනෙක් සිටිති.
‘ජීවිතයේ පැවැරී ඇති වගකීම් හඳුනාගෙන කටයුතු කරන ලසන්ති ගුවන් යානා ඉංජිනේරුවරියක ලෙස කරන රාජකාරියේ ස්වභාවය මොන වගේ ද?’ අපි ඇයගෙන් විමසීමු.
“ගුවන් යානයේ යෝග්‍යතාව සහතික කිරීම අපේ වගකීමයි. ගුවන් යානා ඉංජිනේරුවරුන් වන අපට අපේ තනි මතයට හිතෙන දේ කරන්න බැහැ. ගුවන් වාරයක් පියාසර කර පැමිණි ගුවන් යානයෙහි පරීක්ෂාවන් සහ නඩත්තු කටයුතු ගැන සොයා බැලීම සිදු කරන්නේ අප කණ්ඩායමක් විසින්. අදාළ ගුවන් පැය ගණන පියාසර කළ විට ඒ කටයුතු සිදු කරන්නේ එම ගුවන් යානය නිෂ්පාදනය කළ ආයතනය ලබා දී ඇති දත්ත සහ උපදෙස් අනුවයි.

අදියර කීපයක දී පරීක්ෂණ කටයුතු සිදු කරනවා. සෑම යානයක් සඳහාම පරීක්ෂා කළ යුතු විධි සහ ක්‍රම සැලැස්මක් තිබෙනවා. සමහරවිට දිනපතා, සතිපතා ආදී වශයෙන් ගුවන් පැය ගිය ගණන අනුව එම පරීක්ෂණ සහ පරීක්ෂාවන් මෙන්ම නඩත්තු කටයුතු සිදුවෙනවා.”

සංකීර්ණ වූ රාජකාරි ක්‍රියාවලියක ස්වභාවය ඇය සරලව විස්තර කළේ එලෙසිනි. ගුවන් යානා ඉංජිනේරුවරියක හෝ ඉංජි​ෙන්රුවකු යනු ගුවන් යානයක ගමන් ගන්නා මගීන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවය සහතික කරන චරිත ලෙස හැඳින්වීම වඩා සුදුසුය. ගුවන් යානයක ගමන් ගන්නා මගීන් සියල්ලගේ ජීවිත සුරක්ෂාව රැකීම සඳහා තිරය පිටපුස සිටින මේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ කාර්ය භාරය සැබැවින්ම පැසසිය යුතුම වූ දෙයකි.

‘එහිදී කාන්තාවක් ලෙස ලසන්ති මේ රැකියාව දකින්නේ කෙලෙස ද?’ අපි විමසීමු.

“ඒක ඇත්තටම ලොකු වගකීමක්. සිය ගණනකගේ ජීවිත සුරක්ෂිතභාවය ගැන දරන වගකීමක් ලෙසයි මේ වෘත්තිය මා දකින්නේ. විශේෂයෙන්ම කාන්තාවක ලෙස ලංකාවේ අපට මේ වගේ දේ කරන්න බැහැයි කියන මතයෙන් අපි ඉවත් විය යුතුයි. ලංකාවේ කාන්තාවන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවනි. එහිදී අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසයයි. එය ඇත්නම් කාන්තාවකට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවනි. කාන්තාවක ලෙස මේ රැකියාව කරගෙන යද්දී සියලු ඉංජිනේරු කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය එක්ක අපට නියමිත වෙලාවට ගුවන් යානයේ යෝග්‍යතාව සහතික කරලා තහවුරු කරලා දෙන්න පුළුවන් වෙනවා.

මේ කටයුත්ත අපේ සාමූහික කණ්ඩායමේ ප්‍රයත්නයක්. අපේ ප්‍රධානියා වන අර්ජුන කපුගී කියන මහතා ඇතුළු කළමනාකාරීත්වයේ ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම නිරත්තරයෙන් අපට ලැබෙන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.”

අද කාන්තාවන් අතර විශේෂිත වූ කාන්තාවක ලෙස එලෙසින් කටයුතු කරන ගුවන් යානා ඉංජිනේරු ලසන්ති යනු ජීවිතය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කාන්තාවක ලෙස සඳහන් කළ හැකිය. අද ඇය ජීවිතය ජයගෙන ඇත්තේ එදා ඇය විසින්ම සලසා ගත් ක්‍රමයක් අනුගමනය කළ නිසාවෙනි.

“කතාවක් තියෙනවනේ නිසි කලට නිසි දේ හරි දේ කරන්න ඕනෑය කියලා. අද දවසට කරන්න තියෙන දේ අදම ඉවර කළ යුතුයි. එසේ නැතුව කාන්තාවක් නිසා කළ නොහැකියි කියා සිතිය යුතු නැහැ. කාන්තාවක හෝ පිරිමියකු වේවා තමාට ලැබෙන අවස්ථාවලින් උපරිම ඵල නෙළා ගැනීම කළ යුතුයි.

අපි හිතමු උසස් පෙළ කිරීමට අවස්ථාවක් ලැබුණා කියලා. කොහොම හරි මම සරසවි ප්‍රවේශය ලබා ගන්නවාමයි කියන අරමුණ ඇතිව කළොත් එය ජය ගන්න පුළුවනි. ඒ දිනවල සරසවි යද්දී රාත්‍රිය පුරා පාඩම් කරලා උදේට නියමිත විභාගවලට පෙනී සිටියා. ගුවන් යානා පාසලේදී කරන හැදෑරීම් වෙනම කළා. සැලැස්ම මා විසින්ම හදා ගත්තා. එහෙම නැතුව අපිට කවදාවත් අභියෝග ජය ගන්න බැහැ.

අවස්ථා කියන දේ ජීවිතයේ නිකම්ම ලැබෙන්නෙත් නැහැ. කැපවීමක් කළොත් අවස්ථාවක් ලැබෙනවා. ඒ ලැබුණු අවස්ථාව අභියෝගයක් ලෙස බාර ගැනීම කළ යුතුමයි.
පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවනට මා කියන්නේ පාසල් සමයේදීම ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රගුණ කරන්න කියලයි. විශේෂයෙන්ම මෙවැනි ක්‍ෂේත්‍රයකට අනාගතයේදී ඒමට අදහස් කරන්නේ නම් ඉංග්‍රිසි භාෂාව කල් තියාම ප්‍රගුණ කිරීම ඉතා වැදගත්.”

ජීවිතය නියමාකාරයෙන් හැඩ කරගත් මේ ගුවන් යානා ඉංජිනේරුවරිය තමාගේ වෘත්තියටම පමණක් කැප වූ චරිතයක් නොවන්නීය. නිවසේදී ඇය බිරිඳක, මවක සේ ඒ වගකීම් ඉටු කරන්නේ ජීවිතාවබෝධය නිසාමය.

“ගෘහණියක ලෙස රසට කෑම හදන්න මම කැමැතියි. සමහර වෙලාවට අලුත් දෙයක් ගැන අන්තර්ජාලයට ගිහින් කරුණු දැන ගන්නවා. මව්පියන්ගෙන් අපට උදව් ලැබෙන බව ඇත්ත. ඒත් ඉඩ ලද වෙලාවකදී ගෙදර කළ යුතු වැඩ ටික සැලසුම් කරලා ඉවර කිරීම එදාම කළ යුතු දෙයක්.

ඒ අතරේ තමුන් කැමැති ගීතයක් අහන්න පොතක් කියවන්න ආදී දේ කිරීමෙන් ජීවිතය ඒකාකාරී වන්නේ නැහැ. ජීවිතයේ තවදුරටත් බොහෝ දේ ඉගෙනීමට වගේම දැන ගැනීමට තිබෙනවා. මේ දක්වා යම්තාක් දුරකට මා ජීවිතය ජය ගත්තේ නම් ඊට ප්‍රධානව මුල් වුණේ “කැපවීමෙන් වැඩ කිරීම සහ හරි දේ හරි විදියට කිරීම” නිසයි.

මට මේ දේ කළ හැකිය යන ආත්ම විශ්වාසය මට තියෙනවා. ඕනෑම කෙනකු හට තිබිය යුත්තේ ඒ ගුණාංගය නම් ඒක හරි හොඳයි.”

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බලපත්‍රලාභී ප්‍රථම ගුවන් යානා ඉංජිනේරුවරිය වන ලසන්ති චතුරිකාගේ ඒ හැඩකාර ජීවිතය වෙතින් ශ්‍රී ලාංකීය කාන්තා පරපුරට අර්ථාන්විත ආදර්ශයක් ගත හැකි යැයි අපි විශ්වාස කරන්නෙමු.

මේ හමුව අවසන අපි ඇයගෙන් විමසුවේ ‘ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ රහස කුමක් ද?’ යනුවෙනි.

“එය තමුන්ගේ සිතින්ම හදාගත යුතු දෙයක්. ජීවිතයේ සෑම දෙයක් ගැනම ධනාත්මකව හිතා සුබවාදීව කටයුතු කළොත් සතුට නිරන්තරයෙන් ජීවිතයට ළඟා වේවි. රැකියාවක් කරන කාන්තාවක් නම් ඊළඟට එයාගේ උසස් වීම් සඳහා වූ දෙයක් වෙනුවෙන් අධ්‍යයන කටයුතු කරන්නට තිබේ නම් එය කරදරයක් කියා නොසිතා කිරීම හරිම වැදගත්. ආසාවෙන් යමක් කළොත් එය අසීරු වෙන්නේ නැහැ. මොනම වෘත්තියක හෝ වේවා එවිට ජීවිතය දුෂ්කර වන්නේ නැහැ. වැඩ ගොඩ ගසා ගත්තාම ජීවිතය බරයි. අද වැඩය අදම ඉවර කළාම ජීවිතයට දැනෙන්නේ සැහැල්ලුවක්.

මම වගේම මගේ මහත්තයත් ලංකාවට හරිම ආදරෙයි. ලෝකේ කොතැනකටත් වඩා ලංකාව තරම් සුන්දර රටක් තවම නම් දැකලා නැහැ. අපි මේ රටට හරි ආදරෙයි. දරු දෙදෙනාටත් ලංකාවේ සුන්දරත්වයට පසුබිමට ආදරය කරන්න තමයි අපි එයාලව හුරු කරවන්නේ.”

(විශේෂ ස්තූතිය - ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකාර දීපාල් පෙරේරා මහතාට සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ට කළමණාකාර අර්ජුන කපුගීකියන මහත්වරුනට)

 

සටහන- සඳුන් ගමගේ

 

මූලාශ්‍ර