Responsive image
English site
English site

දිනය: 10-07-2019 | වේලාව: පෙ.ව 10:27 | 18

සංචාරකයින් මිලියන 2.5 ක් ගෙන්වාගැනීමේ ඉලක්කය මේ වසරේදී සපුරා ගන්නවා

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමේ අරමුණින් රජය විසින් ගුවන් සමාගම් වලට සහන සැලසීම හා රටින් පිටවීමේදී අයකරනු ලබන බද්ද ඩොලර් 10කින් අඩුකිරීම ආදී පියවර රැසක් ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 2.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය මේ වසර අවසන් වන විට සපුරාගත හැකිවනු ඇතැයි සංචාරක, ක්‍රිස්තියානි කටයුතු හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේදී ගුවන් සමාගම් වලට සපයනු ලබන ඉන්ධන, ලිහිසි තෙල් හා බිම් මෙහෙයුම් සදහා අයකරනු ලබන ගාස්තු අඩුකිරීම, ගුවන්යානා ඉන්ධන වල මිල අඩුකිරීම හා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමේ බද්ද  ඇමරිකානු ඩොලර් 10කින් ඉහළ දැමීමේ අයවැය යෝජනාව අත්හිටුවීමට මේ සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඒ මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිල අඩුකල හැකි අතර විදේශ ගුවන්යානා වලට වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසෙන බවද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ (09) පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ගුවන් සමාගම් රාශියක් ශ්‍රී ලංකාවට ගුවන් යානා එවීම නතර කළ නමුත් මේ වන විට සියලුම ගුවන් යානා සුපුරුදු පරිදි යළි පැමිණෙන බවද ඇමතිවරයා සදහන් කළේය.

සංචාරකයින්ගේ පැමිණීමද දැන් වර්ධනය වෙමින් පවතී. පසුගිය ඉරිදා සංචාරකයින් 3700ක් පැමිණ තිබේ. ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් මාස වල සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණීමට නියමිතව ඇතැයි මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ගුවන්සේ වා නියෝජිත සංගමයේ සභාපති ජේරාඩ් වික්‍රමරත්න මහතා පැවසීය.

ඇමති ජෝන් අමරතුංග මහතා මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම දිරිමත් කිරීම සදහා නොමිලේ වීසා නිකුත් කිරීම අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවත්, මෙය පසුගිය මැයි 01 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව නතර කල බවත් කීය. එහෙත් චීනය සහ ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට මෙම සහනය නොලැබෙනු ඇතැයිද ඒ මහතා සදහන් කළේය.


එසේම තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරන් අතර මගී ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම සදහා ඉන්දීය රජය සමග සාකච්ඡා කරගෙන යන බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.

 

මූලාශ්‍ර