Responsive image
English site
English site

දිනය: 17-12-2018 | වේලාව: ප.ව 01:23 | 30

සමාජ සම්මුතියක් තුළයි අපි වැඩ කරන්නේ - සුදන්ත මාධව ප්‍රනාන්දු

අපි සංගීතකාරයකු අල්ලා ගත්තෙමු. නම සුදන්ත මාධව ප්‍රනාන්දු ය. වැඩ බොහොමයකි ය. Skitzo නම් ස්වකීය සනුහර කණ්ඩායම සමග එක්ව සංගීතයෙන් විකල්ප සොයන ඔහු ගේ ආකල්ප අපි ප්‍රශ්න කෙරුවෙමු. මේ සුදන්ත අපට කී දෑ හි සංක්ෂිප්තය යි.


 සංගීතය සම්බන්ධව සුදන්තගේ අදහස මොකක්ද?

මේ සම්බන්ධයෙන් මට නිශ්චිත අදහසක් නැහැ. කොටින්ම කිව්වොත් මේ වගේ ප‍්‍රශ්නයකට උත්තරයක් මට කවදාවත් හදා ගන්න බැරිවෙයි.
සංගීතය කියනකොට දැනෙන දේට මං හරි ආසයි. මට දැනෙනවා ඒකබහුතරයකටත් එහෙමයි. සංගීතඥයො මේ ගැන කියලා තියෙන දේවල් විද්‍යාත්මකව-න්‍යායාත්මකව තේරුම් ගන්න පුළුවන් වුණත් අවබෝධය ඇතුළේ මේ විෂයට ඇතුළු වෙන්න ගොඩාක් කැපකිරීම්, පුහුණුවීම් කරන්න ඕන. මගේ ජීවිතේ දී මේ අවබෝධය ලබා ගන්න ලැබුණොත් ඒක කිසිම දෙයකට සමකල නොහැකි ජයග‍්‍රහණයක්.

 විකල්ප සංගීතය කියල දෙයක් තියෙනවද?

එහෙම සංගීතයක් නැහැ මං හිතන්නේ. ඒක හඳුනා ගැනීමේ පහසුව හින්දා නිර්මාණය කරගත් දෙයක් වෙන්න ඇති. පාරක් හදද්දී සිදුවෙන අවහිරතා මඟ හැරගන්න ‘විකල්ප’ මාවත් භාවිත කරන්න කියලා නිවේදනය කරනවා වගේ සංගීතය කියන දේට විකල්ප හැදෙන්නේ නැහැ. සංගීතයට තියෙන්න පුළුවන් එයට ඇතුළත් සහ පිටස්තර දේවල් විතරයි. හැමදාම සංගීතයට අලුත් අලුත් දේවල් ඇතුළත් වෙනවා. එහෙම වුණාට සංගීතය එ්කෙ පදනමින් වෙනස් වෙන්නේ නැහැ. ස්වරූපය අනුව දේවල් වර්ග කරගන්න එකේදි බොහෝ විට මතු පිටට වැඩි සැලකිල්ලක් දක්වනවා.

 කාලයක් අපි නන්දා මාලනීලගේ, සුනිල් ආරියරත්නලගේ සින්දුවලටත් විකල්ප කියන වචනය යෙදුවා. ඊට පස්සේ මොකද වුණේ?

පරමාදර්ශ පවත්වාගෙන යා හැකි සමාජ ක‍්‍රමයක නෙවෙයි අපි ඉන්නේ. පුද්ගලිකව මේ චරිත විවේචනය කරනවට වඩා සමාජ ක‍්‍රමයේම
අර්බුදයක් හැටියටයි මේ ගැන විමර්ශනය කරන්න ඕන. 88 - 89 කාලය තුළ ඇති වුණ දේශපාලන වාතාවරණය එක්ක මේ අයගේ භාවිතාව ලොකු පෙරටුගාමී වැඩ කොටසක් කළා. මේ ගැන බැරෑරුම් විශ්ලේෂණයක අපේ සංගීත කලා සමාජය නියැළිය යුතුයි. ඒ කාර්යභාරය ඓතිහාසිකයි. ඒත් අද ඒ අයගේ භාවිතාවන් ඒ ඓතිහාසිකත්වයට පරස්පරයි. අපි කොහොමද තරාදියක මේ දෙපැත්ත දාලා කිරන්නේ. හොඳට නරකට කියන දෙකටම අදාළව මේ කලා භාවිතය සමාජයට දැවැන්ත බලපෑමක් කරලා තියෙනවා.


'රම්බෝ පාරෙ ඇවිදන් යාවිද-තෝසෙ කඩයෙන් කාවිද?' මේක ඔබේ ගීතයක ආරම්භක කොටස. ඇත්තටම වැරදුණේ රම්බෝටද, අපිටද?

අපි දෙගොල්ලොන්ටම වරද්දන සහ අපිම වරද්දා ගන්නා සමාජයක් අපි ඉදිරිපිට තියෙන්නේ. මේක පහසුවෙන් කතා කරලා ඉවර කළ හැකි දෙයක් නොවේ. සම්පූර්ණ ගීතය තුළ කතා කරන දේ ඛේදවාචකයක්.රම්බෝ ලියලා මං නිදහස් වුණේ නෑ. ඒක මේ යුගයේ අපි ඉදිරිපිට ඇති අභියෝගය නැවත නැවත සිහිකරවන්නක්. ගීතයේ වචන, කණ්ඩායමක් හැටියට අපි ඒක ඉදිරිපත් කරන විදිය, පුළුල් පිරිසක් කරා ඒ හැඟීම ලොකු බලපෑමක් ඇති කළා මං හිතන්නේ. මේ රම්බෝලා දෛනිකව ඕනෑ තරම් අපිට මුණ ගැහෙනවා. මොකක්ද අපිට තියෙන විසඳුම!


මෙතෙක් ලැබුණු සහ දැනට ලැබෙමින් පවතින මොන යම් විදිහෙ හෝ ප‍්‍රතිචාර ඔබේ සංගීතයට සහ සමාජ-දේශපාලන ජීවිතයට එල්ල කරන්නේ කොහොම බලපෑමක්ද?

මේ මොහොතේ අපි කේන්ද්‍රීයව වැඩ කරන කොළඹ ආශ‍්‍රිතව හැරුණ විට විවිධ ප‍්‍රාදේශීය කලාපයන්වලට අපිට සංගීත වැඩ සටහන් සඳහා ඇරයුම් ලැබෙනවා. ඉතින් ඒ කලාපවල මේ අර්බුද සම්බන්ධයෙන් දේශපාලනික සංවාදයක් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. අපි එතැන දී ගායනාවන්ට අමතරව ඒ අයත් එක්ක කතාබහක් හදා ගන්න උත්සාහ ගන්නවා. ඒක අපේ කාර්යය සම්බන්ධයෙන් වන ඔවුන්ගේ ඇත්ත අදහස් ගන්න හොඳ උපක‍්‍රමයක්. අපිට විවිධ තලයන්වල උදව් උපකාර ලැබෙනවා. නොදන්නා මිනිස්සු සංගීත වැඩ සටහන් සංවිධානය කරනවා.
ඒක අපූරු අත්දැකීමක්. අපි හීනෙන්වත් නොසිතූ විවේචන ලැබෙනවා.විශේෂයෙන් යාපනයේ දී අපිට තිබුණ අත්දැකීම් හරි සුන්දරයි. ඒවා තමයි අපිව මේ වැඩේ එක්ක තදට බන්දලා තියෙන්නේ.

 සුදන්ත කැමති ඕනෙම ආකාරයකට අපේ මේ සංවාදය ඉවර කරන්න මං ඔබට අවස්ථාවක් දෙනවා?

තවත් වෙනස් වැඩක් කරන්න අපිට ඕන නෑ. අපිට ඕනෑ සමාජයත් සමඟ ගැටුමක් ඇති කරගන්න. ජීවිතය, ආදරය, කලාව... මේ වගේ
දේවල් ගැන ආචීර්ණ කල්පික අදහස්වල තාමත් අපේ අය හිරවෙලා.විශේෂයෙන් අපි ජාතිවාදය, ආගම්වාදය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.
ඒ වගේම අපි එවැනි ආන්තික ප‍්‍රවේශයන් දැඩිව ප‍්‍රශ්න කරන තැනක ඉන්නවා. සමාජ සම්මුතියක් තුළයි අපි වැඩ කරන්නේ. ඒකයි අපිට
වැඩ කරන්න ශක්තිය දෙන්නේ. අපේ සහෝදර සංගීත කණ්ඩායම් නිර්මාණාත්මක ප‍්‍රවේශයන්හි දී විවිධ ස්ථාවර දැරුවත් එකම පවුලක්
වගේ බැඳීමක් අපි අතර නඩත්තු වෙනවා. අපි ස්වාධීනයි වගේම සහෝදරාත්මකයි. ඒ වගේම විවිධ කලාපවල විවිධ සමාජ ස්ථරවල
මිනිසුන් සමඟ ගැටෙන මැදිහත් වීමක් පිළිබඳ අපේ හීනය ඉතා ඉක්මනින් ඉටු කරගත යුතු බැඳීමක් බවත් කිව යුතුයි.

සංවාදය - කසුන් සමරතුංග

 

මූලාශ්‍ර