Responsive image
English site
English site

දිනය: 11-10-2018 | වේලාව: පෙ.ව 10:35 | 65

සාහිත්‍ය නීති රීතිවලට අභියෝගයක් කරලා ලියපු කාව්‍ය සංග්‍රහයක්-ඕෂධ දිලුම්

ඕෂධ දිලුම් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙකි. ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය 'කුවේණිට ලියුමක්' නමින් මේ මස 15 වනදා කැලණිය විශ්වවිද්‍යාලයේදී සහෘදගත වීමට නියමිතය. මේ එය නිමිති කරගෙන ඔහු සමග කළ කෙටි සංවාදයකි.


මොකද්ද මේ 'කුවේණිට ලියුමක්'?

ඇත්තටම 'කුවේණිට ලියුමක්' කියන්නේ මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය, ටිකක් වෙනස් විදිහකට ලියපු කාව්‍ය සංග්‍රහයක්. මොකද කියනව නම් සාහිත්‍ය නීති රීතිවලට පොඩි අභියෝගයක් කරලා ලියපු කාව්‍ය සංග්‍රහයක් විදිහට මේ පොත් හඳුන්වන්න පුළුවන්.

කවදා, කොතැන, කීයට, කොහොමද පොත එළිදැක්වීමේ කටයුතු සිද්ධ වෙන්නෙ?
 

මගේ කවි පොත එළිදක්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පිහිටි k 14 ශාලවේ. මේ මාසේ 15 වනදා, හරියටම හවස හතරට. කවි පොත වගේම පොත එළි දැක්වීමත් පොඩ්ඩක් වෙනස්. ඒකට හේතු සාධකයක් කියනව නම් නිතරම දකින සාම්ප්‍රදායික ක්‍රමවේදයකින් බැහැරවෙලා, ප්‍රේක්ෂකයාට මගේ කවි පොත ගැන පුන පුනා කීම සහ කාව්‍ය සංග්‍රහයෙ තිබෙන හොඳ සහ නරක කීම වෙනුවට එය ප්‍රේක්ෂකයා සතු දෙයක් විදිහට මම එහි හොඳ නරක කීමට ප්‍රේක්ෂකයාටම නැතහොත් පාඨකයාටම තම ඉඩ ප්‍රස්ථාව ලබාදෙනවා. එතකොට මගේ කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ මම ගොඩක් වෙලාවට මුල්තැන දෙන්නේ, එන පාඨකයා හෝ ප්‍රේක්ෂකයාගේ බුද්ධියට යම් ආකාරයෙන් වෙනස් විදියකට දැනුමක් සහ වින්දනයක් ලබාදීමටයි.

කවිය ගැන ඔබේ අදහස කුමක්ද?

කවියට පොදු නිර්වචනයක් දෙන්න අපහසුයි. මං හිතන්නේ කවිය යනු ගතික දෙයක්. කවියට නියමිත පද සංඛ්‍යාවක් හෝ නිශ්චිත රාමුවක් තිබිය යුතුයැයි පොදු මතවාදයක් ගොඩනගන්න අපහසුයි. ඒ වගෙම කවියක සංකල්ප රූප මැවීම සඳහා භාවිතා කරන ශෛලිය මෙසේ විය යුතුයැයි පොදු මතයක් ද සොයා ගන්නට බැහැ.

විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ඇතුළෙ මේ මොහොතෙ කවියට - සාහිත්‍යයට තියෙන ඉඩ කොහොමද?
 

විශ්වවිද්‍යාල උපසංස්කෘතිය තුළ කවියට සහ සාහිත්‍යයට ලැබෙන ඉඩ ප්‍රස්ථාව ගැන යම් ඉඟියක් දුන්ණොත්, විශ්වවිද්‍යාලය ශිෂ්‍යයාවක් හෝ ශිෂ්‍යයක් සාහිත්‍ය, කලාව, කවිය කියන ත්‍රිත්වය පිළිබඳ පුළුල් ස්වකීය පර්යේෂණයක් සිදුකිරීම පෙළඹෙන්නේ මෙම විශ්වවිද්‍යාල උපසංස්කෘතිය තුළ බව පවසන්න පුළුවන්. මං හිතන හැටියට විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සාහිත්‍යමය ගනුදෙනුවක් නිරන්තරයෙන් සිදු වෙනවා. එය අත්දැකීමෙන් මට පවසන්න පුළුවන්. එමෙන්ම සාහිත්‍ය, දේශපාලනය සහ කලාව කියන සංකල්පය තුළ ප්‍රබල හඹායෑමක් සහ ස්වකීය තර්ක ගොඩනගා ගැනීමේ හැකියාව පවතින්නේ එම කාල සීමාව සහ ඒ පරිසරය තුළ බව පවසන්න පුළුවන්. නමුත් වර්තමානය පවතින සමාජ, ආර්ථික, දේශපාලන සංසිද්ධිගේ බලපෑම් මත එම ගවේෂණයන් විශ්වවිද්‍යාලය තුළ නිදහසේ කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙනවද යන්න පිළිබඳව යම්කිසි ගැටළුකාරී තත්ත්වයක් හටගෙන ඇති බව දැක්විය යුතුයි.

විශ්වවිද්‍යාල ඇතුළෙ ඉන්න කාලෙ ලියන හුඟ දෙනෙක් එළියට ගියාට පස්සෙ සාහිත්‍යමය මළ මිනී බවට පත්වෙනවා අපි දැකල තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මං හිතන ආකාරයට විශ්වවිද්‍යාලය සාහිත්‍යමය පර්යේෂණ සිදු කරන්න හොඳ තෝතැන්නක්. එහිදී එම පර්යේෂණයන් හරහා පුද්ගල චරිත, ක්‍රමවේදයන් සමාජයට බිහිවෙනවා. මෙවැනි චරිත විශ්වවිද්‍යාල කාල සීමාව තුළ නිදහසේ එම න්‍යායන් සහ ක්‍රමවේදයන් බොහෝ විට භාවිතා කරන්නේ අනෙකුත් බලපෑම් සාධකයන් පසෙකලා. නමුත් එම ක්‍රමවේදයන් සහ න්‍යායන් එම පුද්ගල චරිතය බාහිර සමාජය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී බොහෝ විට විවිධාකාර සංවර්ණයන්ට ලක්වීම තුළ එම පුද්ගලයාගේ හැකියාවන් සහ මතවාදයන් තුළින් යමක් නිර්මාණය කිරිමේ ප්‍රවණතාවය හීන වන බව පවසන්නට පුළුවන්. අනෙක් අතට මුදල කියන සංකල්පයත් එක්ක කලාව සහ කලාකරුවා කියන බුද්ධ වචනය යම්කිසි ආකාරයකට පරිහාණියට පත්වීම බොහෝ විට මං හිතන්නේ බාහිර සමාජයේදී දකින්නට පුළුවන්. මක්නිසාද තමා තුළ තමාගේ හැකියාවෙන් අර්ථපූර්ණ දෙයක් නිර්මාණය කිරීමට වඩා සාහිත්‍යමය ආර්ථික රැල්ල සංකල්පය මූලික කර ගැනීම තුළ නිර්මාණය තුළ සාර්ථකත්වයක් රැකීමට අපහසුයි. එම හේතු සාධකයන් තුළ විශ්වවිද්‍යාල භූමිය තුළ අර්ථපූර්ණ නිර්මාණකරුවන් බිහි වූවත් ඔවුන් සමාජයට නිරාවරණය වූ විට නොදැනුවත්වම ඔවුන් සාහිත්‍යමය මළමිනී බවට පත් වෙනවා.
 

නැවත ඔබේ පොතට ආවොත්, පොතේ අන්තර්ගතය සකස් වුණ ආකාරය අපට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ සඳහා ඔබට බලපෑම් කළ කාරණා මොනවාද?

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට මෙම සීමාව තුළ හටගන්නා සමාජ, ආර්ථික, දේශපාලන විවේචනය හා පිළිකුල යන ත්‍රිත්වය හේතුකාරණා කොටගෙන මා විසින් 'කුවේණිට ලියුමක්' කාව්‍ය සංග්‍රහය කළා යැයි පැවසීම සාධාරණයි. මෙහි බොහෝ විට අන්තර්ගත වී ඇත්තේ සමාජය තුළ තිබෙන සමාජ ගැටලුයි. බොහෝ විට අප විසින්ම අමතක කර ඇති, අප විසින්ම කතා කිරීමට බය, අප විසින්ම සිදුකරන අසම්මත සමාජ ක්‍රියා මෙම කාව්‍ය ග්‍රන්ථ සඳහා පදනම සකස් කර ඇති බව පැවසිය යුතුයි. ජීවිතය, පිළිකුල, බය, මරණය සහ රමණය නැමැති සාධකය තුළින් යම්කිසි පිළිබිඹුවක් කිරීමට අවැසි නම් එම සංකල්පය ගැන වචනාර්ථයෙන් නොහඳුන්වා එම සාධකයන් හැඳින්වීමට වෙනත් ප්‍රයෝගයක් භාවිතා කිරීමට හැකිද යන්න ඇසීමට මම මෙම කෘතිය තුළින් උත්සාහ ගෙන ඇති බව පැවසිය යුතුයි. ඒ ආකාරයම 'කුවේණිට ලියුමක්' කාව්‍ය සංග්‍රහය පර්යේෂණාත්මක ලෙස ද මට නිර්වචනය කළ හැකියි.

නිල වශයෙන් පොතක් එළියට දැම්මට පස්සෙ, ඊළඟට අනාගතේදි ඔබෙන් වෙන්න නියමිත මොනවද?

මං හිතන්නේ මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය යම් ආකාරයෙන් පර්යේෂණයක්. එතකොට විශ්වවිද්‍යාලය තුළ මගේ අන්තිම අවුරුද්ද මං හිතන්නේ මෙම පර්යේෂණයෙන් තුළින් යමින් සාර්ථකව ප්‍රතිඵලයක් තබාගැනීම උත්සාහ දැරීමයි. එතකොට ලබන අවුරුද්දේත් මා විසින් උත්සහ දරනවා මා ලබාගන්නා ගවේෂණාත්මක අත්දැකීම් තුළින් තවත් කෘතියකට ආරම්භයක් ලබා ගැනීමට. කිව යුතු කාරණය නම් ඒ සඳහා අවශ්‍ය වට වටපිටාව මේ වනවිටත් සකසා ගනිමින් යන‍ බවයි. තවද මා රචනා කරන ලද ගීත කිහිපයක රූප රචනාවන් සමගම ඉදිරි කාලය තුළ ඒවා සමාජයට විවර කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

සංවාදය - කසුන් සමරතුංග

උපුටා ගැනීමකි

 

 

මූලාශ්‍ර