Responsive image
English site
English site

දිනය: 04-02-2019 | වේලාව: පෙ.ව 06:50 | 23

71 වන ජාතික නිදහස් දිනය අදයි

අභිමානවත් 71 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනමහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් කොළඹ - ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම්කර අවසන්.

සැමරුම් උත්සවයේ අවසන් පෙර පුහුණුවීම් ඊයේ (03) දිනයේත් කොළඹ ගාලු මුවදොර පිටියේදී සිදුකෙරුණා.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වන්නේ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලියි.

මේ අතර නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  නිවේදනයක් නිකුත් කරමින්  කියා සිටින්නේ "සියල්ලන්ගේ ඒකායන අරමුණ ලැබූ නිදහසේ උපරිම  අර්ථය සාක්ෂාත් කරගැනීම පිණිස නව දැක්මකින්,අභිනව ජවයකින් සාමූහිකව කැපවිය යුතු බවයි .

 

"පුරා වසර 133ක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව  ස්වාධීන රජ්‍යයක් බවට පත් වූ දිනය හැම වසරකම  පෙබරවාරි 04 මෙසේ උත්සවශ්‍රීයෙන් අනුස්මරණය කරනු  ලබයි. එහෙත් මේ මොහොතේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ ලැබූ නිදහසේ උපරි අර්ථය සාක්ෂාත් කරගැනීම පිණිස නව දැක්මකින්, අභිනව ජවයකින් සාමූහිකව කැපවීමයි.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් දේශයක්, ජාතියක්  ලෙස අප අපේක්ෂ කළේ, සියලු ආකාවලින් ඔවුන්ගේ  වියගසින් මිදුණු ස්වදේශීය අනන්‍යතාවයකින් හෙබි ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික පෙරගමනකි.

ශතවර්ෂාධික කාලයක පරාධීනත්වයෙන් අධිරජ්‍ය ගැති බවට පත් මනස්වලට දේශයේ අනාගතය බාර වීම යනු  අධිරාජ්‍යවාදයට වඩා භයානක ප්‍රතිඵල අත්කර දෙන්නකි.

එහෙයින් අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන් ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුතු  ජනකායකි. අතීත රජ දවස ලොව අන්‍ය මහා ශිෂ්ඨාචාරයන් විසින් ඉටු කර  ගැනුණු කාර්ය සාධනයන්, ඒ හා සමාන සාර්ථකත්වයකින් අපට ද සපුරා ගත හැකි වූයේ ඒ කිසිවකට ණය ගැති වීමෙන්  නොවේ. ස්වාධීන වීමෙනි. අපි අපේම ජාතික අනන්‍යතාවක් මුල සිටම ගොඩනඟාගත් මිනිස්සු වෙමු. එහෙයින් දේශීය ආර්ථිකයේ පදනම ලෙස  කෘෂිකර්මාන්තය යළි ස්ථාපිත කළ යුතු කාලය යළි එළැඹ  ඇති වග මේ අනුස්මරණීය දිනයේ මම ඔබ සැමට අවධාරණය කරනු කැමැත්තෙමි.

එසේම ජාතික පුනර්ජීවනය ඇති කිරීමේ ලා අත්‍යාවශ්‍ය වන  ප්‍රගතියට එරෙහිව සිටින පොදු සතුරා වන දුගීභාවය සහ  දූෂණය වහා මුලිනුපුටා දැමීමට අප සියල්ලන් එක්සිත්ව කටයුතු කළ යුතුව ඇත. අධිරාජ්‍යවාදී පාලන සමයේ සිටම ජාතික ස්වාධිනත්වය වෙනුවෙන් කැප වූ, දිවි පිදූ සියලු වීරවරයන් මේ මොහොතේ ගෞරව බහුමාන පෙරදැරි ව සිහිපත් කරන අතර වර්තමානයේ දේශයේ නිදහස,ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින සියලු රණවිරුවනට  කෘතඥතාපූර්වකව ශුභාශිංශනය කරමි.

තවද සියලු දේශපාලන පාර්ශවයන්ටත්, අපටත් ඔබ  සැමටත්,තිර අදිටනින් සමඟිව දිනූ නිදහසේ යහ අරමුණු  සපුරාගනු පිණිස සමඟිව පෙරට යෑමට හැකි වේවා යි මේ  නිදහස් සමරු දිනයේ දී ප්‍රාර්ථනා කරනු කැමැත්තෙමි.

මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපති
2019 පෙබරවරි මස 04 වන දින

 

මූලාශ්‍ර